Saturday, September 23, 2017

මා දුටු 87-89 භීෂණය -4 කොටස - හමුදාව මහා රෑ නිවසට කඩා වදී





       මෙයට පෙර   ලිව තුන් වන  කොටසේ  මා විස්තර  කළේ දිනක් පාන්දර  නාවුක  හමුදා  භටයන් මගේ  නිවසට  පැමිණ  නිවස   සෝදිසි කොට  නැවතත්  මා  හමුදා  කඳවුරට ගෙන්වා ගෙන  ප්‍රශ්ණ  කළ ආකාරයය. මා  එහි ගියේ මට පහර දී ඇට  කටු කඩා අවසානයේදී පාරක් අසබඩදී රාත්‍රී  කාලයේදී මා  වෙඩි  තබා මරා දමනු ඇතැයි යන භීතියෙනි. නමුත් මා  ජවිපෙ සාමාජිකයෙකු නොවෙන  බව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වටහා ගත්  නිසාදෝ   ඔවුහු  මට ආපසු ඒමට ඉඩ දුන්හ .





                                               (චන්දය දැමීම  නිසා ජවිපෙ කළ දඩයමකි )


රටේ අනෙකුත් සිංහල ප්‍රදේශවල  මෙන්ම  අපේ ගමේ සහ අවට ගම්මාන වල ද 1988 මැද භාගයෙන්  පසු  ජවිපෙ ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබුණි . රාත්‍රී කාළයේ ගමේ  නිවෙස් වලට  ජවිපෙ තුවක්කු කරුවන්  ගොස්  තිබුණු බවට ප්‍රවුර්ති ලැබෙමින් තිබුණි. දිනක් මා  හමුවීමට  පැමිණි  කාන්තාවක් ඉකුත් දින  රාත්‍රියේ  ජවිපෙ තුවක්කු කරුවන්  තම නිවසට  පැමිණි බවත් නිවසේ අල්මාරි ලාච්චු පවා   විවුර්ත කොට සෝදිසි කොට අවසානයේදී හිංසාවක් නොකොට  පිටවී  ගිය බවත්  කීවාය.   අද උදැසන ලාච්චු  විවුර්ත  කොට බැලුවිට එහි තිබු රත්තරන් වළලු (සංඛ්‍යාව මතක නැත ) අතුරු දහන් වී  ඇති බවත් ඒවා  ගෙන  යන්නට ඇත්තේ  රාත්‍රී  කාලයේ  පැමිණි  ජවිපෙ  තුවක්කු කරුවන අතරින්  ලාච්චු ඇවිස්සු අය විය  යුතු බවත් කීවාය. එක වළල්ලක්  තබා ගෙන  අනිත් වළලු  ආපසු  ලබා දෙන  ලෙස  ඉල්ලමින් ජවිපෙට  පණිවිඩයක්  යවන  ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය.


1980 න් පසු ජවිපෙ සමග  මගේ  කිසිදු සම්බන්ධයක් නැති බව  මම ඇයට පැහැදිලි කළෙමි .එබැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු උදව්වක්  කළ  නොහැකි  බව   කි මා   ජවිපෙ ප්‍රාදේශීය සන්නද්ධ  නායකයා සිටින්නේ අසල  ගමක් වූ ගිරිකොල ප්‍රදේශයේ  බැවින්  හැකි නම්  ඔහු හමුවී මේ පිළිබඳව  ඔහුට දන්වන  ලෙස   ඇයට කීවෙමි.


ජවිපෙ ප්‍රාදේශීය  සන්නද්ධ  නායකයා වුයේ   මතුගම   පොළේ එළවලු විකුණු වෙළෙන්දෙකි . ඔහු කලක් පදිංචිව සිටියේ  මගේ නිවස අසල  ගෙයක් කුලියට ගෙනය . එකල  ඔහු ජවිපෙට සම්බන්ධ  බව  කිසිවෙකු දැන සිටියේ  නැත . රාත්‍රී කාළයේදී  නීති විරෝධී ලී ජාවරමක්ද ඔහු කළේය. පොලට  ගිය අවස්ථාවල  ඔහුගෙන් කීප අවස්ථාවක   මා එළවලු මිලදී  ගත් බැවින් ඔහු සහ  මා අතර  දුරස්ථ සම්බන්ධ කමක් තිබුණි. ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු බවට  ගමේ  ප්‍රසිද්ධ වුයේ  නාවික  හමුදාව ඔහු අල්ලා  ගැනීමට  දින දෙකක් ඔහුගේ  නිවස වැටලීමෙන් පසුවය . එහෙත් දිවීමේ ශුරයෙකු වූ ඔහුව අල්ලා  ගැනීමට  නොහැකි විය. ඉන්පසු  ඔහු අපේ  ගම අත් හැර  ගිය නමුත් ප්‍රදේශයේ  ජවිපෙ සන්නද්ධ  නායකයා  ලෙස  ක්‍රියා  කාරකම් වල  යෙදුනේය . ඔහුගේ දෙවෙනියා වුයේ පොලිස් කොස්තාපල් වරයෙකි.  පොලිසියේ සේවය සඳහා වාර්තා  කිරීමෙන් වැළකුණු ඔහු ජවිපෙ සන්නද්ධ  ක්‍රියා  කාරකම්වල  නිරත විය . කැරැල්ලේ  පරාජයෙන් පසුව පොලිසිය විසින්  ඔහු අල්ලාගෙන මිනීමැරීම් චෝදනා  මත  අධිකරණයට ඉදිරිපත් කළ අතර  අධිකරණය විසින් ඔහුට  මරණ දඬුවම නියම  කරනු ලැබීය . අවුරුදු 20 කට අධික  කාලයක් සිරගතව  සිටි ඔහු මේ වන විට  නිදහස  ලබා වෙනත් ප්‍රදේශයක  ජීවත් වන  බවට  මෑතකදී  මට දැනගන්නට ලැබිණ . ප්‍රාදේශීය  ජවිපෙ නායකයා අල්ලා  ගැනීමට  කැරැල්ලේ  පරාජයෙන්  පසුවද පොලිසියට  නොහැකි විය .ඔහුද උප නායකයා සමග දුරස්ථ ප්‍රදේශයක  ජීවත් වෙන බවට ආරංචි තිබේ .




 ජවිපෙ විසින් අනෙකුත් බොහෝ දේශපාලන  පක්ෂ  මේවන විට  තහනම්  කොට  තිබු බැවින්  දේශපාලන  පක්ෂ වලින්  ඉවත්වූ බව සඳහන් කරමින් බැනර් දමන  ලෙස  ජවිපෙ අවට  ගම්මානවල දේශපාලන පක්ෂවල   ප්‍රමුඛයනට  නියෝග  කර  තිබුනේය .එම නියෝගය අනුව  කටයුතු නොකළ හොත් මරණය අත්වෙන  බැවින්  දේශපාලන  කටයුතු වලින් ඉවත්වූ බව දන්වමින් අපේ  ගමෙත් අවට  ගම්මානවලත් පාරවල  හරහා එල්ලූ බැනර් සිය  ගානක්  දැකීමට  හැකිවිය . වැඩියෙන්ම එවැනි බැනර් එල්ලා  තිබුනේ  මා එකල ඉගැන්වූ  පාසල තිබු  ගම වූ ගිරිකොලය .මුළු ගමම  ජවිපෙ ආධිපත්‍යයට  යටත් වී  තිබිම එයට  හේතුව  විය .


                                         (ජවිපෙ  විසින්   ගිනි තැබූ  ආණ්ඩුවේ  බස් රථ )


දේශපාලන  පක්ෂකට සම්බන්ධ වුවද,  නැතද , සියල්ලෝම  කාලය  ගත  කළේ බියෙන් සහ සැකයෙනි.රාත්‍රී කාලයේ තම නිවසට එක්කෝ ආණ්ඩුවේ  හමුදා  හෝ ජවිපෙ එනු ඇතැයි බියට පත්ව සිටියහ. අඳුර වැටුණු පසු  බොහෝ රෑ වන තුරු  මා ගත  කළේ මිදුලට වී අන්ධකාරයේය. අද මෙන් වාහන සුලබ නොවූ එකල  වාහනයක් එනු ඇසුණු විට පපුව  තුල ඇතිවන ගින්දර ගැන දන්නේ  එකල සිටි අය පමණි. රාත්‍රී  කාලයේ  නින්දේ සිටියද කිලෝ මීටර  භාගයක්  දුරක සිට  නැගෙන වාහනයේ  හඬ පවා මිනිසුන් ඇහැරවයි. වාහනවල එන්නේ ආණ්ඩුවේ  හමුදා  හෝ මන්ත්‍රීවරු යටතේ  පැවති සන්නද්ධ  කණ්ඩායම්ය  . ජවිපෙ තුවක්කු කරුවන් ට  අඩු වශයෙන් යතුරු  පැදියක්වත් නොතිබුණු  බැවින්  ඔවුන් රාත්‍රී   කාලයේ  සැරිසැරුවේ  පා  ගමනිනි . 



දිනක් රාත්‍රී 8 ට  පමණ  මා  කළුවරේ  මිදුලට වී සිටින විට  නිවස  ඉදිරිපිටින් දිවෙන  පාර දිගේ  කිසියම් වාහනයක්  පැමිණ , මගේ  නිවස  පසු කොට මීටර්  50 ක් පමණ ගොස්  නැවත්වුයේය. ඊළඟ මොහොතේ  මා දුටුවේ  හමුදා  භටයන් යයි සිතිය  හැකි පිරිසක්  මගේ  නිවස දෙසට දුවගෙන එන  අයුරුය .ඔවුන් පැමිණෙන්නේ  මා අල්ලාගෙන  යාමට විය  හැකි  යයි  සිතු  මා නිවස පිටුපස දෙසින් පැනයාම සඳහා දුවන්නට  පටන් ගතිමි. පිටුපස සිටි  නැගණිය  මා දුවනු දැක "මොකෝ " යයි ඇසු විට 'ආමි එක එනවා ." කියමින් වත්ත  පහලට  දුවගොස් කුමුරු  හරහා දුවන්නට  පටන් ගතිමි. කට්ට  කළුවරේ කුඹුරුවල  නියරවල්  දිගේ දිවිය  නොහැකි බව ඔබට සිතා   ගත  හැකි විය  යුතුය. නියරවල් මත  හැරී හැරී දුවන විට  මා කීප වතාවක්ම හොඳින්  වැවී තිබුණු ගොයම් මතට  කඩා වැටුණේය. ඒ හැම විටකම  යලි නැගිට  දුව  ගොස් අක්කර  දෙකක් පමණ  වූ එම  කුඹුරු  යායෙන් එපිටින් වූ රබර් වත්තට  ගොඩවී එහි තිබු විශාල  ගල් පොත්තක්  මත වාඩිවී ගිමන් ඇරියෙමි. එහි සිට  මගේ  නිවසට මීටර් 150 කට වඩා දුර  නැත .



මා සිටි රබර් වත්ත බැවුම් සහිත ඉඩමකි. එය අයත් වුවේ  පන්සලටය .ටික වෙලාවක් මා  එහි සිටින විට ඉඩමේ  ඉහල  පැත්තෙන් වරින් වර 'දඩාස් ' ' දඩාස් ' යනුවෙන් මොනවදෝ වැටෙන  හඬ ඇසෙන්නට  විය. හමුදා  භටයන් පන්සලට ගොස් එහි සිට වත්ත දෙසට විශාල ගල් එවන්නේ   මා එහි සිටිතැයි   සිතා විය  යුතුය යැයි මා  කල්පනා  කළෙමි. මා සිත තුළ වූ භීතිය තව දුරටත් වැඩි විය .



                                  (පවුලේ සාමාජිකයෙකු  හමුදාව  විසින් රැගෙන  යාමෙන් පසු  )


තවත් පැය භාගයක්  ගතවූ  විට  පැමිණි වාහනය ආපසු යන  හඬ මට ඇසුණේය. ඇතැම් විටෙක  හමුදා  භටයන් නොමැතිව වාහනය  ආපසු  යනවා විය  හැකියයි මා  කල්පනා  කළෙමි. වාහනය  ආපසු යන  බව ඇසුණු විට මා  යලි නිවෙසට  ගිය විට මා අල්ලා  ගැනීමට  ඔවුන් නිවෙස අවට සැඟවී සිටිනවා විය හැක . එබැවින් මා  තව දුරටත් ගල්තලාවට වී සිටිමට  තීරණය  කළෙමි.


අපේ ලිඳ  තිබුණේ මා පසු කොට ආ  කුඹුර ආසන්නයේය. හමුදා වාහනය  ගොස් පැය භාගයකට හමාරකට   පසුව   ලිඳට  පැමිණි කිසිවෙකු පනිට්ටුවකින් වතුර  ගනිමින් අනවශ්‍ය පරිදි පනිට්ටුව ලින් ගැට්ටේ කීප වාරයක්  හප්පන  හඬ  මට ඇසුනේය. අනතුර  පහව  ගොස් ඇති බැවින් ආපසු  එන ලෙස මගේ බිරිඳ  කරන සංඥාවක් ලෙස  සැලකු මම සෙමින් සෙමින් ආපසු  නිවසට එන විට බිරිඳත් නැගෙණියත් නිවසේ  පිටුපස දොර අසල සිටි අතර ඉක්මනින් නිවෙස  තුළට  එන  ලෙස කිහ .


"ගියාද?     නිවසට ඇතුළු වෙමින්  බිරිඳගෙන් ඇසිමි.


"'ඔව් ගියා " බිරිඳ  කීවාය .


" මොනවද ඇහුවේ?"  


" ඒ මිනිස්සු  නරක මිනිස්සු  නෙවෙයි . හොඳට  කතා  කළා . "



                                  ( හමුදා අත් අඩංගුවට  පත්වූ  ජවිපෙ සාමාජිකයෙකුගේ  ඉරණම )

        


මා  නිවස පිටුපසින් පැනයනවාත් සමගම හමුදා  භටයන් කීප දෙනෙකු නිවස  පසු පසට  දුව ආ  බව සොහොයුරිය මා සමග කීවාය . මා තවත් මොහොතක් හෝ ප්‍රමාද වී  දිව්වේ  නම්   ඔවුන් මට වෙඩි තබනු සිකුරුය. එදින රාත්‍රියේ එම භට පිරිසම  වෙනත් නිවසක් වැටලීමේදී පැන ගිය අයෙකුට වෙඩි තැබීම  නිසා බොකු බඩවැල් එලියට  පැන දොලක වැටි සිටි බව    පසුදා ආරංචි විය .


" මොනවද ඇහුවේ ?" යලිත් බිරිඳගෙන් ඇසුවෙමි.


" ඔයා  කෝ කියල ඇහුව . මංකිව්වා දැන් හිටිය  කියල . දැන් හිටියනං කෝ  කියල ආයිත් ඇහුව  .මං කිව්වා  සමහරවිට  පංසලට යන්න ඇති පත්තර  බලන්න කියල ".

 (පන්සල තිබෙන්නේ මගේ ගෙවත්තට අල්ලපු වත්තට අල්ලපු වත්තේය .)

" ඉතින් ?" 

ඉතින් නොකිය   ගියේ මොකද  කියල ඇහුව.  නොකිය  යන්නේ  පුතා  පස්සෙන් යන නිසා කියල මන් කිව්වා. ( එකල  ලොකු පුතාගේ වයස අවුරුදු 6 ක් පමණ විය ) ඊට   පස්සේ  මුළු ගේම ඇවිස්සුවා.ඇඳන්  යට  පවා බැලුව . සොල්දරේ  හැංගිලා  ඉන්නවා  නේද  කියල ඇහුව .( එකල  තිබු අපේ  පැරණි නිවසේ  සොල්දරයක් තිබිණ .) මං කිව්වා සැක නම් සොල්දරේට  නැගල බලන්න  කියල. එයිට  පස්සේ  සොල්දරෙටත් නැගල බැලුව. 

" ඊට පස්සේ ?"

"  මං ඇහුව  කොහෙන්ද ආවේ  කියල . කියන්න  මං මහත්තයව එක්කන් එන්නම් එතනට  කියල . නැහැ.  අපි ආයිත් එන්නම්  කියල  ආමි එකෙන් ආපු  ලොක්ක  කිව්වා .  බය වෙන්න දේකුත් නැහැ බොහොම විනීත විදිහට තමා  කතා  කළේ "


 මා සිත තුළ වූ බිය  තරමකින්  පහ වුවද රාත්‍රී  ආහාරය ගැනීමටවත් බඩ  ගින්නක් ඇති වුයේ  නැත. බිය  පත් වූ කළ  කුසගින්න අතුරුදහන්  වන  බව  වැටහුනේ එකලය . කෙසේ වෙතත් ඔවුහු  සැර වැර නොකර  කතා  බහ  කර  තිබුණු නිසා  මගේ සිත  තුල වූ බිය තරමකින්   අඩු විය .එබැවින් ඔවුන් නැවතත්  පැමිණිය  හොත් පැන නොගොස් ඔවුන්ට   මුහුණ දීමට  තීරණය  කළෙමි.  ඔවුන් අසන  ප්‍රශ්න වලට දිය යුතු පිළිතුරුද දින දෙක  තුනකදී මා  තීරණය  කර ගතිමි . මා සපයන  පිළිතුරු අසත්‍ය  ලෙස  ඔවුන්ට වැටහුනහොත්  මා  කුදලාගෙන  යාමට  ඉඩ  තිබුණි. එබැවින් මා   කාලය  ගත  කළේ කිසිදු මානසික සහනයක්  නොමැතිවය .



              

ඉන් සති දෙකකට  පසු දිනක  පාන්දර දෙකට  පමණ හිටි හැටියේ  මා අවදි වුයේ තරමක් දුරින් ඇසුණු වාහනයක   හඬටය . එන්නේ  හමුදා වාහනයක් විය  හැකිය.  ප්‍රධාන දොර අසලින්  පුටුවක් තබා එහි නැග දොරට  ඉහලින් තිබු ලී  කැටයම් කවුළුව  තුළින් පිටත බැලීමි . වාහනය නිවස  පසු කොට  මද දුරක් ගොස්  නවත්වනු ලැබීය. එයින් බැසගත්  හමුදා  භටයෝ මගේ නිවස දෙසට දුවගෙන  එන  බව  දුටු මා වහා  පුටුවෙන් බැස  එය  පැත්තකින්  තබා  නැවතත්  කාමරයට  ගියේ  නිදාගෙන සිටින  බව ඇඟවීමටය . ඊළඟ  මොහොතේ  ඔවුහු  දොරට  තට්ටු කළහ .


"කවුද? "  


"අපි  හමුදාවෙන්. දොර අරින්න ."


නිවාස  තුළද  ,පිටතද  විදුලි පහන් දල්වා  ඉන්පසු දොර විවුර්ත  කොට යන්තමින් පිටත  බැලීමි. දොර දෙපස  බිත්තිවලට හේත්තුවී  හමුදා  භටයන් දෙදෙනෙකු  සිටි අතර දොර  හැර  තබා අඩි කීපයක්  පසු පසට වීමි. ඉන්පසු එක හමුදා  භටයෙක් දොර  ඉදිරිපසට  විත් මගේ  බිරිඳ  අමතා 


'බය වෙන්න එපා  මිස්. අපි  තමා  කලින් දවසෙත් ආවේ " යයි කිවේය.


" මහත්තය ඉන්නවා  කියල සර්ට එන්න  කියන්න ". යයි  ඔහු අනිත් භටයාට  කිවේය .


සන්සුන් බවක්  මා  පෙන්වුවද  මා සිත  තුල ගිණි ඇවිලෙමින් තිබුණි  . කුමකින් කුමක් වෙනු ඇත්ද ? තවත් මොහොතකින්  ඔවුන් මා  හමුදා  රථයේ නංවාගෙන  රැගෙන  යාමට  ඉඩ තිබේ.


විනාඩි දෙක තුනකින් පසු  බර අඩි  තබමින්  හමුදා  ලොක්කා නිවස දෙසට එන  හඬ ඇසුණු අතර ඊළඟ  මොහොතේ ඔහු නිවස  තුළට ආවේය . ඔහු පැළඳ   සිටියේ කැලෑ ඇඳුමකි . ආදී හයක් පමණ උස  පුද්ගලයෙකු වූ ඔහුගේ  මුහුණේ  තිබුණේ රවුද්‍ර බවකි .


මා  පුදුමයෙනුත් පුදුමයට  පත් කරමින්  ඔහු මගේ අතට අත දුන්නේය .


" You are a master teacher ?"


"No.I am just an ordinary  teacher"


Mr. Karunarathna is a master teacher? 


Yes


(කරුණාරත්න  යනු කලින් පැමිණි දින  ඔවුන්ට අතර  මගදී මුණගැසී  ප්‍රශ්න  කරනු ලැබූ  ගුරු උපදේශකයෙකි.)


 "You are an English teacher?" ඔහු ඇසුවේය 


"Yes I am' යයි  මා  පිළිතුරු දුන්නෙමි .


" Okay .Let's sit and talk "


හමුදා  නිලධාරියා කතා  කළේ තරමක් කැඩුණු ඉංග්‍රීසියෙනි . ඔහුට අවශ්‍ය වුවේ අනිකුත්  භටයන්ට ඔහු ඉංග්‍රීසි දන්නා  බව  පෙන්වීමට  බව  මොහොතකින් මට වැටහින . ඒ  බව  නොහඟවා    ඔහුගේ  ගරුත්වය රැක දීමට ඉංග්‍රීසි බසින්ම  පිළිතුරු දුනිමි.


හමුදා  නිලධාරියා අසලින් මා වාඩිවූ පසු  ඔහු ඉංග්‍රීසියෙන්  සිංහලට  මාරුවිය .


" දේශපාලනේ  කරනවද?"


"මෑතක් වෙනකම්ම කොමියුනිස්ට් පක්ෂේ  වැඩ  කළා. මේ දවස්වල ටිකක් වැඩ නවත්තල  ඉන්නේ"


" ඒ මොකද?"


" කොමියුනිස්ට් පක්ෂේ  මිනිස්සුන්ව  JVP කාරයෝ මරනවනේ .ඒ  නිසා පරිස්සම් වෙන්න  ඕන නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්නේ  ." මා  කීවෙමි .


" එදා  අපි එනකොට  ඔයා  හිටියේ නැහැ. කොහෙද  හිටියේ.?"


"ළඟ   පාත  අපේ ඉඩමක්  තියෙනවා .මාසෙකට  කළින්  ඒ ඉඩමේ  රබර් පැල  හිටවනකොට අල්ලපු ඉඩමේ  මිනිහා මායිමකට අරියාදු  කළා .රබර්  පැල රැට ගලවල දානව  කියල මිනිහ  තර්ජනය  කළා. ඒ නිසා  මං අඳුර වැටුනම  ඉඩමට ගිහිල්ල  පැය  තුන  හතරක්  කරුවලේ වාඩි වෙලා  ඉන්නවා.රබර්  පැල  ගලවනවද  බලන්න . එදාත් මං ඉඩමට වෙලා  හිටියේ ."


" කොහෙද ඔය  ඉඩම  තියෙන්නේ ?" නිලධාරියා  නැගිටිමින් ඇසුවේය.


"මේ  පාර දිගේ ආපහු යනකොට  පාලමක්  හම්බ වෙනවා .ඒ පාලම පහු වෙනකොටම දකුණු පැත්තේ  තියෙන  ඉඩම ."


ඇත්ත වශයෙන්ම  මා  ඉඩම සම්බන්ධයෙන්  කි කතාව ඇත්තය . මසකට  පමණ පෙර  එහි රබර්  පැල සිටවන  විට  යාබද  ඉඩම් අයිතිකරු මා සමග  පුංචි පහේ ආරවුලකට ආ   අතර මායිමේ තිබෙන  රබර් පැල  ගලවන  බවට තර්ජනයක් ද කළේය. සත්‍යය සමග බොරුව මිශ්‍ර කොට      හමුදා  නිලධාරියාට මා කිවේ  කලින් දිනයේ    පැන දිව්  බව වසන් කරන්නට  තිබු හොඳම  මග එය වූ නිසාය .


දොර වසාගෙන  නිදා  ගන්නා  ලෙස  කිව්  හමුදා  නිලධාරියා අනෙකුත්  භටයන් සමග යන්නට  ගියේය.


තවත්  මර  උගුලකින්  ගැලවීම ගැන  මහත් සැනසීමක්  ලැබිණ .එහෙත් එය වැඩි  කල්  පැවතුනේ  නැත. ඉන් දින  කීපයකට පසු රාත්‍රී 12 ට  පමණ  ජවිපෙ  තුවක්කු කරුවෝ මගේ  නිවසට ආහ .


( ඒ පිලිබඳ විස්තර  මී  ළඟ  ලිපියේ  පළකෙරේ.)

පි. බර්ටි රණවීරගේ 

ගමගැන 

ගම 

Thursday, September 14, 2017

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ





     

මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිරීමෙන් අනතුරුව පස්වරු 1.35 ට නාවික  හමුදා  කඳවුරට  පැමිණෙන  ලෙස නියෝග  කොට  ඔවුන්  පිටව ගිය බව  එම ලිපිය කියවූ ඔබට මතක ඇතැයි සිතමි.

 අද එතැන් සිට .....


නාවික  හමුදා  භටයන් ආපසු  ගිය  පසු පාසලට  යාමට  මා සුදානම් වූවෙමි . පාසැල  තිබෙන්නේ  නිවසේ සිට කිලෝමීටර් දහයක්  පමණ  දුරිනි .නාවික  හමුදා  කඳවුර තිබුණේ  මගේ නිවසත්  පාසලත්  අතර ය. නාවික  හමුදා  කඳවුර කුඩා එකකි මා සිතන  හැටියට එහි  භටයන් 25 ක් වැනි පිරිසකට වඩා  සිටියේ නැත . එය ස්ථානගත  කර තිබුණේ ප්‍රධාන  මාවතට තරමක් ඈතින් වූ නිවෙසකය  එම නිවාස  අයත් වුයේ තජුඩින්ගේ මළසිරුර  සම්බන්ධයෙන් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව  ඉදිරිපත් කළ  ආනන්ද  සමරසේකර මහතාටය . කොලඹ පදිංචිව සිටි ඔහුගේ   ගමේ  නිවසේ කිසිවෙකු සිටියේ නැත 


එකළ  හමුදා  කඳවුරකට  යාම අතිශයින් භයානකය .එහි  ගිය අයෙකුට  නැවත  පණපිටින් ආපසු  පැමිණෙන්නට හැකිවේද  යන්න අතිශයින්ම සැක සහිතය .හමුදා  කඳවුරට ගිය  පසු මා එල්ලා  පහර දෙනු ඇතැයිද , ඇට කටු කඩා දමනු ඇතැයිද අවසානයට රාත්‍රියක  ගංගාවක් අසලට  ගෙන  ගොස් වෙඩි තබා  හෝ පකිස්තානු දුනු පිහියකින්  බෙල්ල  කපා  ගඟට දමනු ඇතැයි මගේ සිත  කියන්නට විය .එහෙත් මේ ඉරණමෙන් ගැලවීමට උපදෙසක් ගැනීමට  හෝ කෙනෙක් සිටියේ  නැත කොමියුනිස්ට් පක්ෂය හා මා  සම්බන්ධවී සිටියද එහි නායකයන්  මා හඳුනන්නේ නැති බැවින්  ඔවුන්ගේ මැදිහත්වීමක්  හෝ කරවා  ගැනීමට  මගක් තිබුනේ  නැත .අද මෙන් දුරකථන  පහසුකම් හෝ මානව අයිතීන් සංවිධාන  හෝ එකල  තිබුනේ  නැත .  එබැවින් කියන්නට  කෙනෙක් සිටියත් හනික සම්බන්ධ  කරගන්නට  මගක් තිබුනේ  නැත .එවැනි  පසුබිමක්  තිබියදී  කඳවුරට  යාමට  මට සිදුවී  තිබුනේ  ආපසු එන්නට  බලාගෙන නොවේ.



 අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතාගේ  සහෝදරයෙකු  මගේ මිතුරෙකු විය .ඔහු ජීවත්වුයේද නාවික හමුදා  කඳවුර අසල නිවසකය. නාවික  හමුදාවෙන්  ප්‍රශ්නයක් ඇතිවුවහොත් ඔහුට  කියන ලෙස දිනක් ඔහු මට  කියා  තිබිණ . මට  තිබු එකම ගැලවුම එය විය . එබැවින්පා සලට  යන අතර තුර  ඔහු හමුවීමට  ගොස්    සිද්ධිය  කීවෙමි .


"මං කොළඹ  යන්න  ලැස්තිවෙන්නේ . මං යන්න  ඉස්සෙල්ල  කෑම්ප් එකට  ගිහින් කියන්නම් .ඔයා නොවරදවාම  කිව්ව වෙලාවටම  කෑම්ප් එකට යන්න " යයි ඔහු මට උපදෙස්  දුන්නේය .


පාසල ඇරෙන්නේ සවස 1.30 ටය. එබැවින් පාසල අවසන් වන තුරු සිට 1.35 ට  කඳවුරට  යාමට  නොහැක . එබැවින් 12.30 ට කෙටි නිවාඩුවක් ගෙන  කඳවුරට  යාමට මා  තීරණය  කළෙමි.  1.35 ට  පිඹුර නාවුක අනුඛණ්ඩය තිබෙන කඳවුරට එන ලෙස  නාවික හමුදාව  මට දන්වා තිබෙන බැවින්  12 .30 ට පාසලෙන් පිටව ගිය   බව සඳහන්  කරමින් ලොග් සටහනක් යොදන  මෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට  කීවෙමි. මා එසේ  ලියෙව්වේ   ජීවිත ආරක්ෂාවට එය  උපකාරයක්  වනු ඇතැයි මා සිතු නිසාය . කඳවුරට  යාමෙන් පසු මා අතුරුදහන් කරනු ලැබුව හොත් මගේ ඉරණම සොයා  ගැනීමට    ලොග් සටහන  උපකාරී වනු ඇත .


සවස 1.20 වන විට  මා  කඳවුරට  ගියෙමි කඳවුරට  හැරෙන  හංදියේ බිරිඳත් සොහොයුරියත් සිටි අතර ඔවුන්ද  මා සමග  නාවික  කඳවුරට  පැමිණියහ  ගේට්ටුවේ  මුරට සිටියේ හැඩි දැඩි නාවුක භටයෙකි. මොහු වැනි  හැඩි දැඩි  භටයන්   පහර දී මගේ ඇට කුඩු කරනු ඇතැයි මා සිත තුළ දැඩි භීතියක් ඒ මොහොතේම ඇති විය .



                                                මාතලේ සමුහ මිනීවල 

"මොකෝ ආවේ? " ඔහු ඇසුවේය.


කාරණාව කීවෙමු .


"එන්න  කිව්වේ එක්කෙනෙකුට නම්  තුන් දෙනෙක් ආවේ මොකටද"  ? ඇසු ඔහු නිවස තුලට  ගොස්  අප  පැමිණ සිටින  බව  දැනුම්  දුන්නේය. ඉන් පසු ගේට්ටුව  විවුර්ත  කළ ඔහු අප තිදෙනාටම ඇතුලට  යන ලෙස  කිවේය .


අප ඇතුලට  යන විට නාවික භටයන් හතර දෙනෙකු  කැරම් ගසමින් සිටියහ .අප දුටු විට  තිදෙනෙකු  නැගිටි අතර අප තිදෙනාට එහි වාඩි වෙන  ලෙස කීහ . කඳවුරේ  ජෙෂ්ට  නිලධාරියා අනිත් පුටුවේ වාඩි වී  සිටි අතර  ඔහු සහ  තවත් නිලධාරියෙකු ප්‍රශ්න අසන්නට පටන් ගත්හ .


 " කවුද  නීල් කියන්නේ ?"


" නීල් කියල  එක්කෙනෙක් නම් ඉන්නවා අපේ ගමේ ."


" කොහොමද  හැඩරුව ?"


" හීනියි ,මිටියි "


 "මොකද මිනිහ  කරන්නේ "?


"රස්සාවක් නම් නැහැ. බෝඩ් එහෙම අඳිනවා "


" JVP කාරයෙක්ද? "


" නැහැ ඒගොල්ලන්ගේ  පවුලේ ඔක්කොම  UNP "


නාවුක නිලධාරියා  ඉන්පසු තවත් නම් කීපයක් කියා  හඳුනවාදැයි ඇසීය .


" ඒ නම් අහලත් නැහැ .අපේ ගමේ අය  නම් නෙවෙයි "


" ඒ ගොල්ලෝ තමයි  කළුතර දිස්ත්රික්කයේ  JVP පන්ති  කරන්නේ " නාවික නිලධාරියා  කිවේය .


" ගුණසේන කියල තියෙන්නේ තමුසේ පවත්වන  පන්ති වලට ආව  කියල " සිටගෙන සිටි හමුදා  නිලධාරියා  මා දෙස  බලා  කිවේය .


                                                     87-89 සමයේ මිය  ගිය ජවිපෙ  කැරලිකරුවන් 


ගුණසේන  යනු අපේ  ගමේ සිටි ,කලින් කොමියුනිස්ට් පක්ෂයේ  සිට පසුව  ජවිපෙ සමග සම්බන්ධකම් පැවැත්වූ   බැංකු සේවකයෙකි . සති දෙකකට  පමණ පෙර  හමුදාව  ඔහු අත් අඩංගුවට  ගෙන තිබුණි. ඔහු කොහේ රඳවා  සිටින්නේදැයි  කවුරුත් දැන සිටියේ නැත .

" මගේ ඉංග්‍රීසි පන්ති වලටද"? මා පෙරලා ඇසීමි.  මා එකළ සවස් වරුවේ ගමේ  නිවසක් කුලියට  ගෙන ඉංග්‍රීසි පංති පවත්වාගෙන  යමින් සිටියෙමි . අසන්නේ  JVP පංති  ගැන  බව  මට වැටහුනද ඒ බව ඇඟවුවේ  නැත .


" නෑ නෑ JVP පංති " නිලධාරීන් දෙදෙනාම එක වරට කීහ .


" ඒක වෙන්න  බැරි දෙයක් . මම  කවදාවත් JVP  පන්ති කරලා  නැහැ "


" ගුණසේන තමුසේ එක්ක  තරහද "? වාඩිවී සිටි  නිලධාරියා  ඇසීය .


" මා එක්ක  අමනාපයක් නම් නැහැ .එයාගේ ළමයි දෙන්නත්  මගේ  පන්තිවලට එවනවා  ඉංග්‍රීසි  ඉගෙන  ගන්න ."


" තමුසේ උගන්වන  ඉස්කෝලේ මොකක්ද " 


"ගිරිකොල කනිෂ්ට විද්‍යාලය ."


" මොකද්ද  ප්‍රින්සිපල්ගේ නම "?


"චන්ද්‍රදාස  කියල එක්කෙනෙක් "


" එයාගේ දේශපාලන  පක්ෂේ මොකක්ද" ?


"UNP "


" තමන් කොමියුනිස්ට් පක්ෂේ " ?


" ඔව් " 


" ඔන්න   ඕකෙන් අයින් වෙලා  තමන්ගේ වැඩක්  බලාගෙන ඉන්නවා  අයිසේ ." කි ප්‍රධාන  නිලධාරියා  නාවික භටයෙකු ලවා අප තිදෙනාට  සීතල කරන  ලද පලතුරු යුෂ වීදුරු තුනක් ගෙන්වා දුන්නේය.


ඇඟට ලේ ඉනුවේ එවිටය .


 සමරසේකර  මහතා  උදෙන්ම  නාවික කඳවුරට  පැමිණ මා  පිළිබඳව  චරිත සහතිකයක් දී තිබීම පණ පිටින් ආපසු ඒමට බෙහෙවීන් හේතුවූ  බවට සැකයක් නැත. 


ඉන් මාස දෙකකට  පසු දිනක රාත්‍රී 9 ට පමණ හමුදා භටයන්  දහ දොළොස්  දෙනෙකු මගේ  නිවසට කඩ  පැන්නෝය.


( ඉතිරි කොටස ඊ ළඟ  ලිපියෙන් ඔබට  කියවිය  හැක .)







Monday, September 11, 2017

ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?





       ලිපියේ  මාතෘකාවේ ප්‍රාදේශීය සභා චන්දය  යනුවෙන් සඳහන් වුවද ඇත්ත වශයෙන්ම  මා අදහස්  කරන්නේ පළාත් පාලන චන්දයයි. එයට  ප්‍රාදේශීය සභා මෙන්ම  නගර සභාද අයත් වෙයි .බොහෝ විට  මෙම  මැතිවරණය ලබන ජනවාරි මස  පැවැත්වීමට  ඉඩ තිබේ.



මේ ලිපියේ සලකා  බලන්නේ උතුර සහ නැගෙනහිර හැර අන් ප්‍රදේශයන්ය.ඒවායේ වැඩි වාසිය අත්වන්නේ දෙමල ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රසයටය. 


අනෙකුත් ප්‍රදේශ සඳහා ප්‍රධාන වශයෙන්  කණ්ඩායම් 4 ක් ඉදිරිපත්වෙනු ඇත. ඒවා  සියල්ල  හෝ වැඩි ප්‍රමාණයක් සන්ධාන වනු ඇත. එක්සත්  ජාතික පක්ෂය  පෙරමුණක්  ලෙස චන්දයට  ඉදිරිපත් විය හැක ,ඉකුත් මහා මැතිවරණයේදීද ඉදිරිපත්වුයේ  එක්සත් ජාතික පෙරමුණ ලෙසය . මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රිලනිපයද සන්ධානයකින් තරඟ  කරන  බවට සැකයක් නැත. මහින්ද  රාජපක්ෂ  ප්‍රමුඛ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද  සන්ධානයකින්    තරඟ වැදීම ස්ථිරය  .හතර වන  කණ්ඩායම  වන  ජනතා විමුක්ති පෙරමුණ තනිව  හෝ නාමික සන්ධානයක්  හදාගෙන  තරඟ කිරීමට  ඉඩ තිබේ.


මෛත්රිගේ ශ්‍රීලනිපයට   සහ එක්සත්  ජාතික  පක්ෂයට මේ  මොහොතේ  තිබෙන වාසිය වන්නේ  එම දෙපාර්ශවයම  බලයේ  සිටීමය .එබැවින් එක්සත් ජාතික  පක්ෂය සහ  ශ්‍රීලනිපය වටා කුඩා  පක්ෂ සහ  කණ්ඩායම් සැලකිය  යුතු  සංඛ්‍යාවක්  එක්වී සන්ධාන  ගත වී  තරඟ කරනු ඇත.


 පොදු ජන පෙරමුණට අවාසි දෙකක් තිබේ. එකක් රාජ්‍ය  බලය නොමැතිවීමය . දෙවැන්න ශේෂ්ත්‍ර නිලධාරීන්ට චන්දය  ඉල්ලීමට අවසර නොමැති වීමය . මෑතදී සම්මත  කළ පළාත් පාලන  මැතිවරණ  පනත  යටතේ  ශේස්ත්‍ර  නිලධරීන්ට  චන්දය  ඉල්ලීමට  ඉඩක් නොමැත . මහින්ද සමග  සිටින  හිටපු පළාත් පාලන  මන්ත්‍රී වරුන් අතරින් බහුතරය ශේස්ත්‍ර  නිලධාරීන් වෙති . ඔවුන් මහින්ද සමග රංචු ගැසීමට  බලපෑ  ප්‍රධානතම හේතුව වුයේ  දුෂිත  ක්‍රියා  මගින් සාක්කු පුරවා  ගැනීමට මහින්ද  විවුර්ත  ලෙසම ඔවුන් ධයිර්යමත් කළ නිසාය  . ඉකුත් ජනාධිපතිවරණයේදී ඔවුන් අරලියගහ මන්දිරයට  කැඳවා රුපියල් ලක්ෂ 20 බැගින් බෙදා දුන් අතර ඉන් ලක්ෂ කීපයක් මහින්දගේ චන්දයට වැය  කොට  ඉතිරි  මුදල ( අඩු වශයෙන් ලක්ෂ 15 ක් ) ඔවුන්ගේ සාක්කු වලට දමා  ගත්හ. එහෙත් ඔවුන්ගෙන්   විශාල පිරිසකට මෙවර තරඟ කිරීමට අවස්ථාවක් නොමැති වීම මහින්දගේ  පොදු ජන පෙරමුනේ  පපුවට එල්ල වුනු මාරාන්තික   පහරකි. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මහින්ද  හිතවාදී සන්ධානයේ ලොක්කා වූ වලල්ලාවිට  ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි උදේනි අතුකෝරලට  පවා   චන්දය  ඉල්ලීමට  ඉඩක් නොලැබේ.  එයට හේතුව  ඔහු සමුර්ධි නිලධාරියෙකු වීමය මහින්ද හිතවාදී ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වරුන් අතරින් සමුර්ධි  නිලධාරීන් සංඛ්‍යාව 823 ක් වන අතර  පමණ චන්ද අපේක්ෂකයන් වීමට නීතියෙන් අවසර  නොමැති බැවින්  . ඔවුන්ගේ  භාර්යාවන් /දරුවන් මැතිවරණයට  ඉදිරිපත් කිරීම සඳහා සුදානම් වෙමින් සිටිති එහෙත් ඔවුන් ශක්තිමත් අපේක්ෂකයන් නොවන  බව අමුතුවෙන් කිව යුතු නැත .



ජනතා විමුක්ති පෙරමුණ කිසියම් සන්ධානයක් හදාගෙන  හෝ නොමැතිව  පළාත් පාලන  මැතිවරණයට  ඉදිරිපත්වෙනු ඇත . 2020 දී  ආණ්ඩුවක් පිහිටුවන  බව  කියමින් තම  ක්‍රියාකාරිකයන්ගේ ධයිර්ය දිගටම  පවත්වාගෙන  යන ජවිපෙට   පාලන චන්දයේදී කැපී  පෙනෙන මන්ත්‍රී වරු සංඛ්‍යාවක් පත් කර ගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔවුන් කිසියම් සන්ධානයක් පිහිටුවා ගැනීමට  උත්සාහ  කරනු ඇත .එහෙත් ඔවුන්ගේ සන්ධාන අනෙකුත්  සන්ධාන  මෙන් නොවේ. වමේ කුඩා  පක්ෂ එකතු  කර ගැනීමට  ඔවුන් දිගින් දිගටම  බිය වී  තිබේ.  එබැවින් වාම වාදීන් නොව  ජාතික වාදී කණ්ඩායම් එකතු කරගෙන කිසියම් සන්ධානයක්  හද  ගැනීමට  ඔවුන් උත්සාහ  කරනු ඇත 



මෙවර  මැතිවරණය ක්‍රමය  වෙනස්ය . ලංකා දේශපාලන ඉතිහාසයේ  පළමු වරට මිශ්‍ර (කොට්ඨාශ + අනුපාත ) මැතිවරණ  ක්‍රමයක්  යටතේ  පළාත් පාලන  මැතිවරණ  පැවැත්වෙන් බැවින් චන්දය  ඉල්ලන අපේක්ෂකයන්ට  පවා  තම  ජයග්‍රහණය  ගැන සහතිකයක් නැත  .එමෙන්ම  පළාත් පාලන මැතිවරණයේදී  ඇතැම් චන්ද දායකයන්   පක්ෂයට වඩා  පුද්ගලයා  පිළිබඳවද  සැලකිලිමත්වේ. අපේක්ෂකයා  ඥාතියෙකු හෝ හිතවතෙකු වූ  විට පක්ෂය අමතක  කොට    පුද්ගලයාට චන්දය දීමට  පෙළඹේ. එහෙත්  බහුතරය චන්දය  දෙන්නේ  තම  පක්ෂයටය 




ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ  චන්ද,  මයිත්‍රී පිල  සහ  මහින්ද පිල  වශයෙන් දෙකට බෙදීම   නිසා එක්සත් ජාතික  පක්ෂයට වැඩි වාසියක් අත්වෙනු  බවට  අනුමාන කිරීම සාධාරණය  එහෙත් එක්සත් ජාතික  පක්ෂය පක්ෂයක් හැටියට  ගත් කල තවමත් සංවිධානමය වශයෙන් දුර්වලය .තම  පාක්ෂිකයන් වත් ශක්තිමත් ලෙස  පක්ෂයේ සංවිධාන වටා හරි හැටි ගොනු කොට සංවිධාන ගත  කිරීමට  එක්සත්  ජාතික පක්ෂයට හැකිවී  නොමැත.  එය එක්තරා  අන්දමකින් රාජ්‍ය නොවන සංවිධානයකට තරමක්  කිට්ටුය . රාජ්‍ය නොවන සංවිධාන වලට    දීප ව්‍යාප්ත  මට්ටමින් සංවිධාන  නැත .



එතෙත්   ස්ථිර  ලෙසම  එක අනාවැකියක්  කිව  හැකිය . මැතිවරණ ප්‍රතිපල  නිකුත් වීමෙන් පසු එක්සත්  ජාතික  පක්ෂයට  සහ  මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපයට  කිසියම් පළාත් පාලන ආයතනයක   බහුතර පළාත් පාලන  මන්ත්‍රීවරු සංඛාවක් ජයග්‍රහණය කොට  නොමැති වූ  විට එම  පක්ෂ දෙක  ගිවිසුම්  ගත වී  පළාත්  පාලන ආයතනවල  බලය අත් පත් කරගනු ඇත .ඇතැම් ඒවායේ  බලය මෛත්‍රී කණ්ඩායමටද තවත් ඒවායේ  බලය  එක්සත් ජාතික  පක්ෂයටද හිමි වෙන  පරිදි  ගිවිසුම් ගසා  ගනු ඇත.

 මහින්දගේ පොදු ජන පෙරමුණට පළාත් පාලන ආයතනවල  බලය අල්ල  ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත  .ඇතැම් විටෙක  පළාත් පාලන  ආයතන  කීපයක  පමණක් ඔවුන්ට  බලය  ලැබීමට ඉඩ තිබේ.ඔවුන් එය දන්නා  බැවින් මැතිවරණ  කටයුතු සඳහා විශාල  ලෙස  මුදල් වැය කොට හැකි පමණ අපේක්ෂක සංඛ්‍යාවක්  දිනවා  ගැනීමට  උපරිම  උත්සාය දරනු ඇත .



ජනතා  විමුක්ති පෙරමුණ කිසිවෙකුට  සහය නොදී විපක්ෂයේ  සිටිනු ඇතැයි අනුමාන කිරීම සාධාරණය .එහෙත් ප්‍රාදේශීය සභා  කීපයක සභාපති තනතුරු ජවිපෙට  ලබා දීමට   කැමැත්ත දක්වන  පක්ෂයකට  ජවිපෙ සහය  දීමට  ඉඩ  නැත්තේද  නොවේ. කෙසේ වෙතත්   ඔවුන්ට  තනියම එකම  පළාත් පාලන  ආයතනයක  හෝ  බලය  අල්ලා  ගැනීමට  හැකි වෙනු ඇතැයි සිතීමට  කරුණු නැත. කෙසේ  හෝ  ඔවුනට ආයතන දෙක  තුනක  හෝ  බලය  අල්ලාගත  හැකි වුවහොත් එය එම පක්ෂයේ ඉදිරි ගමනට  හොඳ ගැම්මක් වනු ඇත.


මෙම මැතිවරණයේදී මනාප  පොරයක් නැති බැවින් අපේක්ෂකයන්ට සුළු මුදලකින් තම මැතිවරණ ව්‍යාපාරය  කරගෙන  යාමට  හැකිය. .එබැවින් ස්වාධීන අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වෙනු ඇතැයි අපේක්ෂා  කළ හැකි අතර  ඔවුන් අතරින් සැලකිය  යුතු පිරිසක්  ජයග්‍රහණය  කිරීමටද   ඉඩ තිබේ. එබැවින් මනාප  පොරය ඇතිවන්නේ  චන්ද  ප්‍රතිඵල ආවිටය . ජයග්‍රහණය  කළ ස්වාධීන  මන්ත්‍රී වරුන්ගේ  මනාපය  ලබා  ගැනීමට සියලු දේශපාලන කණ්ඩායම් විශාල  පොරයකට අවතීර්ණ වනු නිසැකය  .


( මා දුටු 87-89 භීෂණයේ තුන්වන  ලිපිය  බලාපොරොත්තු වන්න. එම ලිපි මාලාවේ පළමු සහ දෙවන කොටස්  කියවීම සඳහා  ඉහල දකුණු තීරයේ ඇති ලිංකු මත  ඔබන්න )

මෙම  ලිපිය  පිලිබඳ ඔබේ අදහස් පහත  කොමෙන්ටු තීරයේ ලියන්න )

Tuesday, September 5, 2017

මා දුටු 87-89 භීෂණය - 2වෙනි කොටස







 පළමු කොටස කෙටියෙන් .

(ජනතා විමුක්ති පෙරමුණ 1987  ඉන්දු ලංකා  ගිවිසුම ට එරෙහි විය .පළාත් සභා වලට  තරඟ  කරන අපේක්ෂකයන් ,චන්ද දායකයන් , සහ මැතිවරණ  රාජකාරි වල යෙදෙන නිලධාරීන් මර දමන  බව කියමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පෝස්ටර් අලවා   තිබුණි.   මැතිවරණ වලට  තරඟ  කරන  ලද්දේ එක්සත් ජාතික  පක්ෂය සහ  වාමාංශික  පක්ෂ  පමණය .මෙය  ලියන  ලියුම් කරු රජයේ රැකියාවක්  කළ  බැවින් මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු ලැබීය. ඔහුට  ලැබී තිබුණු  චන්ද  මධ්‍යස්ථානය මතුගම  මැතිවරණ  කොට්ටාශයේ දුෂ්කර ප්‍රදේශයක  පිහිටි  ඉත්තෑපාන මහා  විද්‍යාලයයි . ඔහු එහි යන විට  කිසිවෙකු සිටියේ  නැත. පාසැල  මෙන්ම අවට  නිවෙස්ද  කඩද  වසා දමා  තිබුණි .මිනිස්  පුළුටක්වත්  අවට දකින්නට  නොලැබිණ .පාසලේ  බිත්ති වල  ජවිපෙ සටන් පාඨ  පොල්ගෙඩි අකුරින්ලියා  තිබුණේ චන්දයට සහභාගී වන අයට  මරණ දඬුවම  ලබා දෙන  බවය   .වටපිටාවේ  තිබුනේ  ඉතා  බිය ජනක ස්වරූපයකි )


දෙවෙනි කොටස

          මා  මුහුණ දී  සිටින්නේ  ඉතාමත් අනතුරු දායක අවස්ථාවකට  බව  ඉක්මනින්ම  පැහැදිලි විය. අවට දන්නා හඳුනන අයෙකුද නැත. ආපසු  යාමටද  මගක් නැත . මැතිවරණ රාජකාරී  මගහැරීය හොත්  මා  ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු ලෙස පොලිසිය  ගණන් හැදිමටද ඉඩ තිබේ. එහෙත්   පාසල ඉදිරිපිටට වී    බලා  සිටීම  නිසා මා  මැතිවරණ  රාජකාරි සඳහා  පැමිණි  නිලධරියෙකු ලෙස සලකා  කොතැනක  හෝ සැඟවී  සිටින  'දේශප්‍රේමියෙකු ' මා වෙත  උණ්ඩයක් හමාරක්  එවීමටද  ඉඩ තිබේ. එබැවින් හොඳම දෙය කොයි අතට  හෝ පාර දිගේ ඇවිද  ගෙන  යාම  බව  තීරණය  කළ  මා  බස්  පාර දිගේ  ඉදිරියට සෙමින් ගමන් කළෙමි.


වැඩි දුරක්  යාමට සිදුවුයේ  නැත .ජීප් රථයක්  මා දෙසට එමින් තිබුණි. එය  පොලිස්  රථයක් බව හඳුනා  ගැනීමට  ඊළඟ  මොහොතේ  මට  හැකිවිය . අප්‍රමාදව  මා  පාර දෙසට අත දැම්මේ එය නවත්වා  ගැනීමටය 


"මොකද්ද  ප්‍රශ්නේ ?"  ජීප් රිය  මා අසල  නතර කළ විට එහි සිටි අයෙකු මගෙන් ඇසුවේය 


එහි සිටි උසස්  පොලිස් නිලධාරියාට කාරණාව  කීවෙමි .


" මහත්තය  තනියම  එහෙ මෙහෙ යන්න   එපා. මේකට  නගින්න .අපි වටයක් ගිහිල්ල  එනකොට  මහත්තයාගේ චන්ද  මධ්‍යස්ථානේ අනිත්  නිලධාරි ඇවිල්ල  තියේවි "


එම  ජීප් රථය  මැතිවරණ රාජකාරි සඳහා යෙදවූ ජංගම පොලිස් රථයකි . චන්ද  මධ්‍යස්ථාන  5 ක් සඳහා එක පොලිස්  රථය  බැගින් යොදවන  අතර  මැතිවරණය අවසන් වන තුරුම එම  පොලිස් මොබයිල් රථය තමන්ට  භාර  චන්ද  මධ්‍යස්ථාන  5 ට මාරුවෙන් මාරුවට   යමින් ඉහල නිලධාරීන්ට වාර්තා සැපයිය යුතුය . මා  ගොඩවුවේ මගේ චන්ද  මධ්‍යස්ථානය ද  භාරව සිටින  ජංගම පොලිස් රථයටය 


ජීප් රථයේ  පොලිස් පරීක්ෂකට  අමතරව  තවත්  පොලිස්  නිලධාරීන්  තුන් දෙනෙකු පමණ සිටියහ . පොලිස් ජීප් රථයට  ප්‍රහාරයක්  එල්ල වෙතැයි  යන සැකයෙන් ඔවුහු  තුවක්කු සුදානම් කරගෙන විමසිල්ලෙන්  සිටියහ. .අප  ගමන් කරන   පාර ආසන්නයේ  තරමක විශාල  පන්සලක්  තිබිණ .


මේ  JVP පන්සලක් " එක පොලිස්  නිලධාරියෙක් කීවේය .අනිත් පොලිස්  නිලධාරිද " ඔව්  ඔව්  JVP පන්සලක් තමා " කියමින්  එය  සනාථ  කළහ .


අනෙකුත් චන්ද  මධ්‍යස්ථාන  4 ට  යන විට නිලධාරීන්  පැමිණ සිටියහ .  ඉන්පසු   මගේ  චන්ද  මධ්‍යස්ථානයට පොලිස් රථය පැමිණෙන විට  එහි අනෙකුත්    මැතිවරණ  නිලධාරින්ද ආරක්ෂාව සඳහා  පත් කොට  තිබු පොලිස් නිලධාරීන් දෙදෙනාද  පැමිණ සිටියහ . ග්‍රාම සේවා  නිලධාරියා විසින්  මැතිවරණ  නිලධාරීන්ට  ආහාර  පාන  , කොට්ට පැදුරු ආදිය සපයමින් ගම සමග සම්බන්ධීකරණ  කටයුතු  කළ යුතු වුවත්  ඔහු පැමිණ සිටියේ නැත .නිසැකවම  ඔහුට  මරණ තර්ජන  තිබෙන්නට ඇත . ඒ සියල්ල සැපයුවේ  ජංගම පොලිස්   රථයේ  සිටි ප්‍රධාන  පොලිස්  නිලධාරියා  විසිනි.


පාසල  ගැන විස්තරයක් කළහොත් ප්‍රදේශයේ තිබු විශාලතම  පාසල වූ  එහි ගොඩනැගිලි  හත අටක් තිබුණි .පාසල් භුමිය  තැනිතලාවක සිට   තරමක උස භූමියක්  කරා  පැතිරී තිබිණ . පාසලේ තැන් තැන්වල  ගස් තිබු බැවින් පාසල භුමිය ප්‍රසන්න විය    චන්ද  මධ්‍යස්ථානය සඳහා අප තෝරා  ගත්තේ  උස් භුමියේ  තිබුණු  දැල් ගැසූ ශාලාවකි.  ගම සහ අවට  ගම්මාන වල  ජවිපෙ  ක්‍රියාකාරිකයන්  සිටි බැවින් ආරක්ෂාව  ගැන  පිළිබඳව විශේෂ සැලකිල්ලකින්  යුතුව  කටයුතු කිරීම අවශ්‍ය විය . දිවා  ආහාරය  ගැනීමෙන් පසු චන්ද පොළ  පෙරහුරුවක්ද  පවත්වා අපි විවේක ගතිමු.  මැතිවරණ රාජකාරි සඳහා ගිය විට මේ විවේකය  යොදා  ගන්නේ ඇඟ රත් කරගන්නටය . බොහෝ විට  නිලධාරීන් පැමිණෙන්නේ බෝතලයක් හමාරක් ගමන් මල්ලේ දමාගෙනය .එසේ  නොවුනහොත්  ග්‍රාම සේවා නිලධාරියා ඒවා  තිබෙන ස්ථානයකට  නිලධාරීන්  කැඳවා  ගෙන  යයි . ග්‍රාම සේවා  නිලධාරියා පැමිණ  නැති බැවින් ඒවා සොයා  ගැනීමට  ද  මගක් නොමැත . එකම නිලධාරියෙක්  පමණක්  බෝතලයක්  ගෙනවිත් තිබුණේය. හත් අට දෙනෙකුගෙන් සමන්විත වූ අප පිරිසට එය කළු ගඟේ  පාලම  යටින් පාවී ගිය පපඩමක්  සේ විය  .  


සවස  5  වන විට තරමක සතුටක් දැනිණ. එයට  හේතුව  වුයේ අවට  තිබුණු චන්ද  මධ්‍යස්ථාන  හත අටක  නිලධාරීන් සමග  පොලිස්  නිලධාරින්ද අප සිටි  පාසලට  පැමිණීමය .දුරස්ථ  චන්ද  මධ්‍යස්ථානවල  තනි වී රාත්‍රී කාලය ගත කිරීම    ඉතා  අනතුරු දායක වූ බැවින්  සියලු දෙනාම  රාත්‍රී කාලයේ    එක ස්ථානයක  නතර  කිරීමට  පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව  තීරණය  කර තිබුණි     .


රාත්‍රිය  උදාවිය. එහෙත් පාසලට  විදුලිය  තිබුනේ  නැත .එබැවින් රාත්‍රී ආහාරය  ගන්නා   තෙක්  ආලෝකය සපයා   ගැනීමට  පොලීසිය විසින් ඉටිපන්දම්  සැපයුවේය .රාත්‍රී ආහාරය සැපයුවේද, කොට්ට සහ  පැදුරු  ගෙනවිත් දුන්නේද  පොලිසිය විසින්මය.


අඳුර වැටී  ටික වෙලාවකින් බෝම්බ  පුපුරන  ශබ්ද   ඇසෙන්නට  විය .සෑම විනාඩි  දහයකට දොළහකට වරක්  හතර අතින්ම  බෝම්බ  පුපුරන්නට  පටන්ගත්තේය . ඇතැම් බෝම්බ පිපිරුවේ ආසන්නයේය .චන්ද දායකයන් සහ නිලධාරීන්  බිය ගැන්වීම සඳහා  'දේශප්‍රේමින්' බෝම්බ   පිපිරවූ බවට සැකයක් නැත . පොලිස් නිලධාරින්  පහළොවක් විස්සක් අවට සිටි බැවින් නිලධාරීන් තුළ විශාල  බියක් ඇති වුයේ  නැත . අප සිටි ගොඩනැගිල්ලේ පොලිස් නිලධාරීන් දෙදෙනා ශාලාවේ  තිබු ඩේස් එකතු  කොට වේදිකාවක්  තනා  එය මතට  පුටු මේස  තබා  මුර  කපොල්ලක්  තැනුවේය  එක පොලිස් නිලධාරියෙක් ඒ මැදින් වාඩිවී  තුවක්කුව පිටතට එල්ල කරගෙන සතුරු ප්‍රහාරයකට  මුහුණ දීම  සුදානම් විය. අනෙක් පොලිසි නිලධාරියා තම වාරය එන  තුරු විවේක  ගත්තේය .



" මහත්තයල  බය නැතිව  නිදාගන්න. ප්‍රශ්නයක් ආවොත් අපි බලාගන්නම් ." මුර සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියා අපට කිවේය .මේ වන විට සියලු ඉටිපන්දම්  නිවා දමා   තිබිණ .මුළු ප්‍රදේශයම  තිත්ත  කලුවරය . නොකඩවාම බෝම්බ  පුපුරන  හඬ ඇසෙන  බැවින් නින්ද  යන්නේද  නැත .  කොයි මොහොතේ  හෝ අප සිටි ශාලාවට  බෝම්බ  ප්‍රහාරයක් එල්ල වෙතයි අප කවුරුත්  සිටියේ  තරම බියකිනි   රෑ එක වෙන තුරුම මට නින්ද  නොගියේ  නොනවත්වාම වරින් වර බෝම්බ  පිපිරුණු නිසාය    .  එලි වෙනතුරුම  නොනිදා සිටිය හොත් පසුදා රාජ  කාරී කිරීම අසීරු වෙනවාට සැකයක් නැත .එබැවින් කෙසේ  හෝ නිදාගත  යුතුය.

  " කමක් නැහැ මන් නිදාගන්නවා.  මැරුනොත් මැරෙන්නේ  නින්දෙම්මනේ "  යයි සිත  හදා  ගත්   විට නොදැනීම නින්ද ආවේය.   


පාන්දර  5 ට  පමණ  කිසිවෙකු  පාසල දෙසට  තැබූ වෙඩිල්ලක් මා අවදි කළේය    .මුණ සෝදාගැනීමට  පාසලේ  ලිඳ අසලට ගිය  මැතිවරණ  නිලධාරියෙකුට ජවිපෙ  තුවක්කු කරුවෙකු විසින් පාසලට  ආසන්නයේ  තිබු කුඩා  කඳු ගැටයක සිට   වෙඩි තබා  තිබුණි . වෙඩිල්ල  ඔහුට නොවැදුනද වෙඩිල්ල  වැදුණු තැන තිබු  ගල් කැටයක් විසිවී අවුත්  ඔහුගේ  පාදයකට වැදී  යන්තමින්  තුවාල වී  තිබුණි.. පොලිසිය වෙඩික්කාරයා සොයා  ගිය  නමුත්   ඔහු පැනගොස්  තිබුණි . 


උදේ  හය වන විට අනෙකුත් චන්ද මධ්‍යස්ථාන  නිලධාරීන්  තම චන්ද  මධ්‍යස්ථාන  බලා  ගිය අතර උදැසන  හතට  ට චන්දය  පටන් ගැනීම සඳහා අපි සුදානම් වූයෙමු.   පක්ෂ තුන හතරක චන්ද  පොළ නියෝජිතයන්  කීප දෙනෙකුද  පැමිණි අතර ඔවුහු  පළමුව තම චන්දය  පාවිච්චි  කළහ . එහෙත් වෙනත් එකම චන්ද දායකයෙකුවත් පැමිණ සිටියේ නැත .   පස්වරු එක වන විට   චන්දය  පාවිච්චි කර   තිබුනේ හත් අට දෙනෙකු  පමණි.එහෙත්  සවස  1  න් පසු  චන්ද දායකයන්  වැඩි වැඩියෙන් එන්නට   පටන් ගත් අතර සවස  4 වන විට අපේ  චන්ද  මධ්‍යස්ථානයට අයත් චන්ද දායකයන්ගෙන් 50 % කට වැඩි පිරිසක්  පැමිණ චන්දය  පාවිච්චි කර තිබිණ  .ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය චන්දය වර්ජනය  කළද  ඔවුන්ගේ  පාක්ෂිකයන්  පැමිණ සම සමාජ , කොමියුනිස්ට් ,මහජන  පක්ෂය ආදී පක්ෂවලට   සිය චන්දය  දුන්හ .


සවස  4.30 වන විට සියලු වැඩ කටයුතු අවසන් කොට  චන්ද  පෙට්ටියටත් රැගෙන මැතිවරණ රාජකාරි සඳහා පැමිණ තිබු   බස්  රථයට  ගොඩ වීමු .අවට චන්ද  මධ්‍යස්ථානවල  චන්ද  පෙට්ටි  රැගෙන නිලධාරින් ඉන්පසු  එහි   පැමිණි අතර ඔවුන්ද   තම චන්ද පෙට්ටි සමග අප සිටි බසයට ආහ. පොලිස් නිලධාරින්ද එම  බස් රථයට  ගොඩ වීමෙන් පසු  බස් රථය  කළුතර කච්චේරිය  බලා  පිටත් විය. පිටුපසින් පොලිස්  රථයක්ද පැමිණෙමින් වැඩි දුරටත් ආරක්ෂාව සැපයුවේය අතර  මග  හන්දිවල  නාවික හමුදා  භටයන් විමසිල්ලෙන්  සිටි අතර ඔවුන් බස් රථයට  ඉක්මනින් යාම සඳහා අවශ්‍ය  සහය දුන්හ .


චන්ද  ගණන් කිරීමේ  රාජකාරි සඳහා  මා යොදවා නොතිබුණෙන්  මතුගම  නගරයේදී    බස් රථයෙන් බැසීමි. එතැන් සිට  තවත් බස් රථයක  නැගී  ගමට  පැමිණි  විට ආරංචි වුයේ  ගමේ චන්ද  පොලට  පැමිණ චන්දය දී  නිවෙස් බලා  යමින් සිටි කීප දෙනෙකුට ජවිපෙ තුවක්කු කරුවන් වෙඩි තබා  තුවාල  කර ඇති බවය. .කරදරයකින් තොරව නිවසට  පැමිණීම පිළිබඳව නිවසේ සියල්ලෝම මහත් සැනසුමක්  ලැබූ බව අමුතුවෙන් කියා  යුතු නොවේ.


පසුදා උදැසන වන  විට චන්ද  ප්‍රතිඵල  ආවේය .එක්සත් ජාතික  පක්ෂය  ජයග්‍රහණය  කොට තිබු අතර  වාමාංශික  පක්ෂද    සැලකිය  යුතු ජයග්‍රහණයක් අත් කරගෙන සිටියහ .චන්දය දෙන අය මරා  දමන  බවට .ජවිපෙ තර්ජනය  කර  තිබුණු මුත් චන්ද දායකයන් විශාල වශයෙන් පැමිණ  චන්දය  පාවිච්චි  කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණට  ඉතා වැදගත්  පණිවිඩයක්  මහජනයා දුන්හ. එහෙත් එය වටහා  ගැනීමට  ජවිපෙට අවශ්‍ය වුයේ නැත.


පළාත් සභා චන්දය  පවත්වා  මාස දෙකක්,  තුනක්  පමණ වන විට අපේ  ගම තුළද ජවිපෙ වැඩි වැඩියෙන්  ක්‍රියාත්මක  වන්නට විය . එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ද ග්‍රාමීය  නායකයෙකු ද,   හිටපු ගම් සභිකයෙකු වූ ද සෝමපාල  නමැති අයෙකුගේ   ගමේ හංදියක  දුරකථන  කණුවකට ගැට  ගසා වෙඩි තබා  මරා දමනු ලැබීය.  .ඉන් මසකට  පසු එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ධ තරුණයෙකු මගේ නිවසට මීටර් 500  පමණ දුරින් පාරේ දී  රාත්‍රී  කාලයේදී වෙඩි තබා ඝාතනය කර   තිබුණි.  තවත් සති දෙක තුනකට  පසු එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ධ  තවත් ගම වැසියෙකු  මරා දැමනු ලැබිණ  .


කුමන බිහිසුණු  තත්වයක් තිබුණද  රාජකාරිය සඳහා  පාසලට  යාම  කළ යුතු විය. පාසලට මා දිනපතා  ගියේ  පාපැදියකිනි. පාසැල පිහිටි ගම  ජවිපෙ මුලස්ථානයක් විය .මගෙන් ඉගෙන ගන්නා   ඇතැම් සිසුන්ද  ජවිපෙට සම්බන්ධ  බව දැනගන්නට  ලැබුණු  මුත් මා හෝ වෙනත් ගුරුවරයෙකු ඒ  පිළිබඳව  ඔවුන්ගෙන් විමසන්නට   ගියේ  නැත . එසේ  විමසුවේ  නම් ජවිපෙ අප  ඝාතනය  කරනු නිසැකය .


ජවිපෙ විසින් වරින් වර ඇඳිරි නීතියද  පනවනු ලැබීය.  එය දන්වන  ලද්දේ  තැන තැන  ඇලවූ  පෝස්ටර්  මගිනි .ආණ්ඩුවේ  ඇඳිරි නීතිය  පැනවූ විට  නිවෙස් වල අපි  පහන් දැල්වූ නමුත්  ජවිපෙ ඇඳිරි නීතිය  යටතේ  නිවෙස තුළ  ඉටිපන්දමක්  හෝ දැල්වීම තහනම් විය .  ඇඳිරි වැටීමට   පළමුව රාත්‍රී ආහාරය ගෙන නිදිමත එනතුරු සැකයෙන් සහ  බියෙන්  කරුවලේ  කතා බහ  කරමින් සිටීමට සියල්ලන්ටම සිදු විය . කුඩා දරුං සිටින නිවෙස්වල රාත්‍රී කාලයේදී අඩු වශයෙන් ඉටිපන්දමක් වත් දල්වා තැබිය  යුතු වුවත් සිදු වුයේ කට්ට  කරුවලේ භීතියෙන් රාත්‍රිය  ගත කිරීමටය . ඇතැම් දිනෙක ආණ්ඩුවේ ඇඳිරි  නීතිය  ක්‍රියාත්මක වූ අතර තවත් දිනෙක  ජවිපෙ ඇඳිරි නීතිය  පනවනු ලැබිණ . 


1988  වන විට  තත්වය වඩාත් දරුණු වන්නට විය . නාවික  හමුදාවේ  කඳවුරක්  ගමට ආසන්නයේ  පිහිටවනු  ලැබීය .  රාත්‍රී  කාලයේ  නාවික භටයන්   නිවෙස් වටලා  සෝදිසි කරන්නට වුහ . දිනක් පාන්දර 5 ට  පමණ   ඔවුහු   මගේ  නිවසටද ආහ . බිරිඳ සහ නැගෙණිය සිටියේ මුළුතැන්ගෙයි ආහාර  පිසිමිනි . ඔවුන්ට   කියා  පිටුපස  දොර අරවා  ගත්  නාවික භටයන් කීප දෙනෙකු ගේ සෝදිසි  කල අතර දෙදෙනෙකු  මගේ  නිදන    කාමරයට  පැමිණ මගෙන්  ප්‍රශ්න  කීපයක් අසා  ඉදිරිපස දොර විවුර්ත  කරන ලෙස  කීහ. දොර විවුර්ත  කළ විට එහි සිටියේ තුවක්කු  අමෝරාගත් නාවික  භටයන්  දෙදෙනෙකි. 


"එන්න .එන්න ඇතුලට " මම  ඔවුන්ට  කීමී. මා එවැන්නක්  කියනු ඇතැයි ඔවුන් කිසිසේත්  බලාපොරොත්තු වුයේ  නැත .මා බියවනු ඇතැයි නොවරදවාම  ඔවුන් අපේක්ෂා  කළ බව පෙනුණි .


"තමුසේ  දන්නවද අපි මොකද ආවේ කියල " නිවස තුලට එමින් එක්   භටයෙක් තර්ජනාත්මකව  ඇසුවේය.


"මං නම් දන්නේ  නැහැ  ආවේ  මොකද  කියල .හැබැයි  මං JVP  කියල  හිතාගෙන ආවනම් වැරදියි  ."


" නිකං බබා  පාට්  දාන්න  එපා අපිට ".කියමින් ඇතුලට පැමිණි ඔවුහු  කාමරයකට රිංගා අල්මාරි අවුසන්නට පටන්ගත්හ.  . මේ වන විට නිවස  තුළ  නාවික  හමුදා  භටයන්  පස් දෙනෙකි . ඔවුන් අස්සක් මුල්ලක් නෑර අවුස්සමින් සොයන්නට විය .


" මොනවා  මේ පොත්? "   කැලෑ ඇඳුමක්  ඇඳ සිටි  භටයෙකු  මගෙන් ඇසුවේය .


මාක්ස්, එංගල්ස් , සහ ලෙනින්ගේ  පොත් රැසක් ද සමාජවාදය  ගැන ලියන  ලද  පොත් ද  රුසියානු නව  කතා  සහ  කෙටි කතා  පොත් ගොන්නක්ද  මා විසින් ශාලයේ   තිබු  බිත්ති පොත් රාක්කයක  තබා  තිබුණි. එහි තිබු  පොත් සංඛ්‍යාව  500 කට අධිකය . කොමියුනිස්ට් පක්ෂය විසින් ඒවා  මට  ලබා දී තිබුණේ  පුස්තකාලයක් ආරම්භ  කිරීම සඳහාය . කොමියුනිස්ට් පක්ෂය විසින්  වරින් වර  මා වෙත එවන  ලද  මුද්‍රිත  ලිපිද  පොත් රාක්කයේ වෙනම ස්ථානයක  තබා තිබුණි .


"ඔය  කොමියුනිස්ට් පක්ෂෙන්  පුස්තකාලයක් දාන්න  කියල දුන්න  පොත් වගයක් ." ප්‍රශ්නය ඇසු නිලධාරියට මා ඉක්මනින්ම කීමි .  


"දැන් එකෙත් වැඩ  කරන්නේ  නැහැ නේද?"  ඔහු එසේ  ඇසුවේ   කළුතර  පැවැත්වෙන  සරත් මුත්තෙටුගම අනුස්මරණ  රැස්වීමක් සඳහා ඒවා  තිබු  ආරාධනා  පත්‍ර  ගණනවක්  බෙදා  නොහැර  තිබෙනු දුටු නිසා විය  හැක .

"ඔව් මේ දවස්වල වැඩ  කරන එක භයානකයිනේ . ඒ නිසා මේ දවස්වල  වැඩ  නවත්තල තියෙන්නේ."  


 ඉන් අනතුරුව  වෙනත් කිසිවක් නොඇසූ ඔහු නිවසේ  වෙනත් තැන පරික්ෂා  කරන්නන්ට  විය . ඉන්පසු මගේ නිදන  කාමරයට  මා   කැඳවූ කණ්ඩායමේ  ප්‍රධාන  නිලධාරියා  එහිවූ පොත් පත්  හා  ලිපි ගොනු අවුස්සමින් ප්‍රශ්න රැසක් ඇසුවේය . කරන රැකියාව පවුලේ විස්තර . දේශපාලන  කටයුතු  සහ වෙනත් දේ  පිළිබඳව  පැය භාගයකට අධික වෙලාවක් මගෙන් ඇසුවේය.කිසිදු පටලැවිල්ලකින් තොරව   පිළිතුරු  දුනිමි . එම නිලධාරියා  මා  ප්‍රශ්න  කරමින්  සිටින අතර තුර එක භටයෙකුට  නිවසේ  පිටුපස  කොටසක තිබී හමුවූ පිස්තෝලයක්   ගෙනවුත් එම නිලධාරියාට  දුන්නේය .

"මේක  මොනවටද? " නිලධාරියා  මගෙන් ඇසීය .


"ඕක  ලොකු   පුතාගේ සෙල්ලම් පිස්තෝලෙ ."


ඒ වන විට  වැඩිමහලු පුතාගේ වයස අවුරුදු 5 ක්  පමණ විය .


 නාවික  හමුදා  කඳවුරට මා  රැගෙන  ගොස්  පහර දී  යලිත්  මගෙන් ප්‍රශ්න අසනු ඇතැයි  මා සිත  තුල  බියක්ද ඇති වෙමින් තිබුණි. එකල වට  පිට  පැතිරීගිය ආරංචිය වුයේ නාවික  කඳවුරට  ගෙන ගිය  කිසිවෙකු පණ පිටින් ආපසු  පැමිණියේ  නැති බවය . 

" දැන්  ඊළඟට මොකද  කරන්නේ ?"  ප්‍රධාන  නිලධාරියා අවසානයට  ඇසුවේය .

"මන් දැන් ඉස්කෝලේ  යනවා "

 "කීයටද  ඉස්කෝලේ ඇරෙන්නේ ?"

" 1.30 ට . "

 "1.35 ට කැම්ප් එකට එන්න  ඕනේ " කිව්  ඔහු අනෙකුත්  නාවික  හමුදා  නිලධාරීන් සමග  ආපසු  යන්නට  ගියේය  .


( ඉතිරි  කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙන්න )

 

 

 



Friday, September 1, 2017

මා දුටු 87 -89 භීෂණය




     



                භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය .


කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ලංකාව දෙකඩ කොට  ඊළමක්  පිහිටුවීම වැලැක්වීම සඳහා විසඳුමක්  සොයා  ගැනීමට ඉන්දියාව,  ලංකා ආණ්ඩුව සමග 1983 සිට 1987 දක්වාම සාකච්චා  කරනු ලැබීය . එහි ප්‍රතිඵලය වුයේ 1987 ජුලි 29 දින අත්සන් කළ ඉන්දු ලංකා  ගිවිසුමයි. එම ගිවිසුම යටතේ බලය  බෙදා හැරීම සඳහා පළාත් සභා  පිහිටුවීමට නියමිත විය .එමෙන්ම LTTE සංවිධානය  සිය  අවි ආයුධ  ඉන්දියානු  හමුදාවට  භාර දීමට  එකඟ වී අතර  කොටි සංවිධානය  නිරායුධ  කොට  උතුරු නැගෙනහිර සාමය පිහිටුවීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදාව උතුරට  ආවේය . LTTE සංවිධානය  නාමිකව සුළු ආයුධ  ප්‍රමාණයක් ඉන්දියානු හමුදාවට  භාර දුන් අතර උතුරේ  ක්‍රියාත්මක වූ සන්නද්ධ  කණ්ඩායම් ගණනාවක්  සටන් නවතා පළාත් සභා  ක්‍රමයට එකඟ වුහ . එහෙත් පළාත් සභා  ක්‍රමය ඊළම පිහිටුවීම වැලක්වීමට  යෙදු උපක්‍රමයක්  බව වටහා  ගත් කොටි සංවිධානය ඉන්දියානු හමුදාවට එරෙහිව සටන් කරන්නට  පටන් ගත්තේය  


                             ඉන්දියානු  සාම සාධක  හමුදා 1987 ජුලි 30 ලංකාවට පැමිණියේය 

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ  කැරැල්ල අරඹා  තිබිණ .හමුදා  කඳවුරු  කීපයකට පහර දී ආයධ  පැහැරගෙන තිබුණු හෙයින් ඒවා  යොදාගනිමින් විරුද්ධ වාදීන්  ඝාතනය  කරමින් සිටියේය.. ඉන්දු ලංකා  ගිවිසුම යටතේ  පිහිටුවන පළාත් සභා සඳහා  තරඟ කරන්නන් මෙන්ම චන්දය දෙන අයද  මරා  දමන  බව ජවිපෙ හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රකාශ  කර තිබුනේය . එමෙන්ම මැතිවරණ කටයුතු වලට සහභාගී වන  නිලධාරින්ද  මරණ බවද   කියා තිබුණි .පළාත් සභා ක්‍රමය  මගින් ඊළම කොටින්ට ලැබෙන   බවත් ලංකාව  කෑලි 8 කට කැඩෙන  බවත් කියා තිබුනේය .


බස්නාහිර  පළාත් සභාවට තරඟ  කරන අය කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ද  විය .කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන  කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ට සහයෝගය දීම  සඳහා මා  හැකි පමණින් කටයුතු කළෙමි.   .ඔවුන්ගේ අංක ප්‍රචාරය  කිරීම සදහා පාක්ෂිකයන්  සමග එකතුව වාහනයක්   රැගෙන දිස්ත්‍රික්කයේ  බොහෝ  ප්‍රදේශවලට  ගියෙමි . එමෙන්ම ප්‍රචාරක රැස්වීම් සාර්ථක කරගැනීම සඳහාද හැකි පමණ සහයෝගය දුනිමි .  මේ අතර දිනක්   නව සම සමාජ  පක්ෂයේ අපේක්ෂකයෙකු මා  හමුවීමට තනිවම  ආවේය . හොරණ ප්‍රදේශයේ  ගුරුවරයෙකු වූ ඔහු කෙසඟ  සිරුරකින් යුතු අයෙකු විය . ඔහුගේ  මැතිවරණ  කටයුතු සඳහා සහය දෙන  ලෙස මගෙන් ඉල්ලා සිටියේය. කොමියුනිස්ට් පක්ෂයේ  අපේක්ෂකයන් තිදෙනා වෙනුවෙන් මා දැනටමත් සහය දෙන  බැවින්  ඔහුට සහය දීමට  නොහැකි බව කරුණාවෙන්    කීවෙමි . කබල් බයිසිකලයකින් චන්ද  ප්‍රචාරක  කටයුතු කිරීම අතිශයින් භයානක  බැවින්  ප්‍රවේශම් වෙන  ලෙස  මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි . ඔහු මරා දමනු ඇතැයි මා සිත  තුල  බියක්ද එම අවස්ථාවේම ඇතිවිය . ඊට සති කීපයකට  පසු  ජවිපෙ තුවක්කු කරුවන් විසින්  ඔහු අතර මගදී වෙඩි තබා   මරා දමා     තිබුනේය.


ලේක් හවුස්  පුවත් පත්  මිලදී  ගැනීම සහ අලෙවි  කිරීම ජවිපෙ  තහනම් කර  තිබුණි . පාපැදියකින් ලේක්හවුස්  පුවත් පත් අලෙවි කිරීමෙන් තම දරු පවුල  නඩත්තු කළ මිනිසෙකු අගලවත්ත  යටියන  ප්‍රදේශයේ   සිටියේය.. ඔහුට තිබු එකම ආදායම  එය විය..පාසලට  යන අතරතුර  සතියකට  දින දෙක තුනක් Daily News පත්තරය මා  මිලදී  ගත්තේ  ඔහුගෙනි.පත්තර අළෙවිය නවත්තන  ලෙසත් නැතහොත්  මරණයට  මුහුණ දීමට සුදානම් වන ලෙසත්  ඔහුට  ලිපියක් ඒවා  තිබෙන  බව දිනක් ඔහු මා සමග  කීවේය .ටික දිනකට  හෝ  පත්තර අලෙවිය  නවත්තන  ලෙස  මා  ඔහුගේ  ඉල්ලා  සිටියෙමි . වෙනත් ආදායම් මාර්ගයක් නැති බැවින් පත්තර අලෙවිය නතර  කළහොත්     පවුලේ සියලු දෙනාටම බඩගින්නේ  මැරෙන්නට වෙන  බැවින් වෙනත් විකල්පයක් ඔහුට  නැති බව  ඔහු කිවේ දෑසේ  කඳුළු පුරවා  ගෙනය. ඒ ඔහු මට හමුවූ අවසාන අවස්ථාවය .ඊට සතියකට  පසු  ඔහුගේ නිවස අසලදී  ඔහු  වෙඩි තබා මරා  දමා   තිබුණු අතර පත්තරවලටද  ගිනි තබා  බයිසිකලය  පැහැරගෙන ගොස් තිබුනේය.

 

මා එකල  ඉගැන්වුවේ  ජවිපෙ  ක්‍රියාකාරීන් දුසිම් දෙක තුනක් සිටි කුඩා  ගමකය . අවට  ගම්මානවල  ජවිපෙ ආධිපත්‍ය  පතුරුවමින්  ජවිපෙ  මුලස්ථානය  පවත්වාගෙන  ගියේ එම  ගමේ සිටය.  එම  ගමේ වැඩි  දෙනෙකු  සමසමාජ  පාක්ෂිකයෝ  වුහ . එහි සිටි  සමසමාජ  පක්ෂයේ  තරුණ  ගුරුවරයෙකු   පළාත් සභා  මැතිවරණයේදී  ජවිපෙ නියෝගය නොපිළිගෙන  මැතිවරණ රාජකාරිවලට  ගියේය. මැතිවරණ රාජකාරි අවසන් කොට නිවසට  පැමිණ වැඩි වෙලාවක් ගත වීමට  පෙර  ජවිපෙ තුවක්කු කරුවෝ  ඔහු සොයාගෙන ආවෝය . ඔවූන්ගෙන් බේරීම සඳහා ඔහු දුවන්නට වූ අතර  තුවක්කු කරුවෝ  ඔහු ලුහුබැඳ  ගියහ . තුවක්කු කරුවන්ට  ඔහු අල්ලා   ගත  නොහැකි විය . ආපසු  නිවසට  නොපැමිණි ඔහු කළුතර ගල්ලස්ස ප්‍රදේශයේ  පදිංචිව  සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ  නිවසට  ගියේය.  ඔහුගේ  මවත් සොහොයුරියත් නිවස අතහැර දමා එහි ගොස්  පදිංචි වුහ . සොහොයුරා  හමුදාවේ  නිලධාරියෙකු වූ බැවින් වඩා  හොඳ ආරක්ෂාවක්  ලැබෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත . ගත වුයේ  මසකි. දිනක් උදැසන   ගල්ලස්සේ  නිවෙසට  ජවිපෙ තුවක්කු කරුවෝ පැමිණියහ .නිවසේ  ඉදිරිපස සිටි එම ගුරුවරයාත් ,ඔහුගේ මවත්, සහෝදරියත් වෙඩි තබා  මරා  දැමුහ .ඔවුන්ගේ  පැරණි නිවස ජවිපෙ විසින් නඩු ඇසීමේ උසාවියක් බවට  පත් කර  ගත් අතර අද  එම නිවාස ගරා වැටෙමින් පවතී .


එම සිද්ධයෙන් පසු එම ගමේ සිටි  ජවිපෙ තුවක්කු කරුවන් මරා  දැමීමට හමුදාව දැඩි උනන්දුවක් දැක්වූයේය . හමුදාව  නිරන්තරයෙන්  ගමට  පැමිණි අතර දිනක්  හමුදාව  දුටු ජවිපෙ  තුවක්කු කරුවන් දුවන්නට  පටන් ගත්හ. හමුදාව  තැබූ වෙඩිවලින් ජවිපෙ  කීප දෙනෙකු මිය ගිය අතර  බියෙන් දුව යමින් සිටි අවුරුදු   එකොළහක  පමණ අපේ පාසලේ  සිසුවෙකුද ජවිපෙ සාමාජිකයෙකු යයි සැක  කොට වෙඩි තැබීම  නිසා මිය ගියේය.. එම සිසුවා නිරන්තරයෙන්ම ඇඟිල්ලක් කටේ  රුවා ගෙන සිටින  පුරුද්දක් තිබු අතර මිය ගස් තිබුණේද ඇඟිල්ල  කටේ  රුවාගෙනය  

පළාත් සභා  මැතිවරණයේදී  මා  කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ට  සහයෝගය දැක්වූ  බැවින් තුවක්කු කරුවන් මා සොයාගෙන ඒමට  ඉඩ තිබුණි එබැවින්  මා   නිරන්තරයෙන් සිටියේ   ආරක්ෂාව  ගැන වැඩි අවධානයකිනි . පිහි කටුවක් වත් නොතිබුණු මට රාත්‍රී කාලය  ගත  කළේ එළිවෙන තුරු  ඇඟිලි ගනිමිනි . කල්ගත වන  විට සියලුම  මිනිසුන්  රාත්‍රී කාලයට වෛර  කළහ . එයට  හේතුව වුයේ ආණ්ඩුවේ  හමුදා,   ආණ්ඩුවේ සන්නද්ධ  කල්ලි , දේශප්‍රේමී  ජනතා ව්‍යාපාරය  නමින් පෙනී සිටි ජවිපෙ තුවක්කු කරුවෝ නිවෙස්  වලට  බොහෝ විට ආවේ  රාත්‍රී  කාලයේ  වීම නිසාය . එකල  බියෙන් පසු නොවූ  කිසිවෙකු සිටියේ  නැත . එක්සත් ජාතික  පාක්ෂික  පවුල්වල  අය බිය වුයේ  රාත්‍රී  කාලයේ  ජවිපෙ  තුවක්කු කරුවන් පැමිණ  ඔවුන් මරා දමා වීදැයි යන බියෙනි . ශ්‍රීලනිප පවුල්වල  මිනිසුන් ජවිපෙ සහ ආණ්ඩුවේ  හමුදාවලට  බියෙන් ජීවත් වුහ.  .විජය කුමාරතුංගගේ නායකත්වයෙන් වූ  මහජන  පක්ෂයේ අය මෙන්ම  සම සමාජ , කොමියුනිස්ට්  මහජන පක්ෂය සහ නව සම සමාජ  පක්ෂවල අයද  බියට  පත්ව  සිටියේ කොයි පැත්තෙන් වෙඩි උණ්ඩය  පැමිණේද කියාය. ඔවුන්ද රතු පාට   පක්ෂවල  අයවූ බැවින්  ඔවුන් JVP කාරයන් යයි ඇතමෙකු  ආණ්ඩුවේ  හමුදාවලට  ඔත්තු දී  තිබුණි. අනිත් අතින්  ජවිපෙ එම  පක්ෂ  තහනම්  කර  තිබු බැවින් ඔවුන්ගෙන් අනතුරක් වෙනු ඇති  නිරන්තර  බියෙන්  සිටියහ .බොහෝ අය රාත්‍රී  කාලයේ නිවෙස්  වල සිටියේ  නැත . රාත්‍රිය ගත  කළේ  කැලේ  ගල් තලාවලය . දිනක් උපන්   ශ්‍රීලංකා  කාරයෙකු අපගේ  නිවසට  පැමිණි විටෙක  කිවේ " මේ JVP ............ගේ   පුතාල  හින්ද  අපිට  රෑට  ගෙදර  නිදාගන්න වත්   නෑ."


 1987  පැවති පළාත් සභා   මැතිවරණ  රාජකාරි සඳහා මා  කැඳවමින්  මැතිවරණ දෙපාර්තමේන්තුවෙන්  මා වෙත  ලිපියක් ආවේය . මැතිවරණ  රාජකාරි  අනිවාර්ය  කර තිබු බැවින්   යා  යුතුම  විය . ගමේ කිසිවෙකුට  නොදැනෙන  සේ  මැතිවරණ  රාජකාරි සඳහා  යාමට  මා  තීරණය  කළෙමි.  රාජකාරි ස්ථානය වුයේ  ඉත්තාපාන  මහා විද්‍යාලයයි . එය  පිහිටියේ  මතුගම මැතිවරණ  කොට්ඨාශයේ  ඈත  ප්‍රදේශයකය . ලිපිකරුවෙකු ලෙසින්  පත් කර තිබුනෙන් මැතිවරණ දිනයට  පෙර දින දහවල් දෙකට  පමණ  එම චන්ද  මධ්‍යස්ථානය  යාම  ප්‍රමාණවත් විය .මතුගම නගරයෙන් බස් රථයක  නැග මතුගම අලුත්ගම  පාරේ පිහිටි ලෙව්වන්දුව  හන්දියෙන් බැස්සෙමි . ඉත්තෑපාන ට  යායුත්තේ එතනින් ඇරඹෙන වෙනත් පාරකිනි.  ඉත්තෑපානට  යන  බස්  රථයක්  පැමිණෙන්නේ  කීයටදැයි කඩයකට  ගොඩවී  තේ  එකක් බොමින් මුලාලිගෙන් ඇසීමි. 



" අද නම්  තාම  එක  බස් එකක්වත්  ගියේ නැහැ .පාර දිගටම  ජේවීපී  කාරයෝ  ගස්  කපල දාල . දැන් පොලීසිය  ගියා  ගස්  කපන්න . එත් සැහෙන වෙලා  යයි  ඒකටත්. " ඔහු කීය . 

" මහත්තය  කොහෙද  යන්නේ " මුදලාලි  මගෙන් පෙරලා ඇසුවේය .

" මන් යනවා මුදලාලි,  මැතිවරණ  රාජකාරිවලට  ඉත්තෑපාන මහා විද්‍යාලයට " යයි කී විට  මුදලාලිගේ  ඇස් උඩ ගියේය..

'බලාගෙන  මහත්තයා. ඉත්තෑපාන  කියන්නේ  JVP විමානේ." මුදලාලි   කිවේ  මා අසලට  පැමිණ සෙමිනි .


මේ වන විට  මධ්‍යහ්නය ආසන්න වෙමින් තිබුණි . ඉත්තෑපාන   බලා  යන එකම බස්  රථයක්වත්  තවමත් ආවේ  නැත . තව ටික වෙලාවකින් මැතිවරණ රාජකාරි සඳහා  යන වාහන  පැමිණෙනු ඇත .එම වාහනයක නවත්වාගෙන  එහි නැගී    රාජකාරී  ස්ථානයට    යාම  මගේ අපේක්ෂාව විය .


තවත් පැයක්  පමණ  ගත වූ විට  ඈතින් එන ජීප් රථයක්  මා දුටිමි , මැතිවරණ  රාජකාරි  කියා  කොලයක් එහි ඉදිරිපස  වීදුරුවේ අලවා  තිබුණි  .මම වහා  අත දිගු කොට  වාහනය  නවත්තන ලෙස සාඥා  කළෙමි.

වාහනය  නැවත්තු විට   මැතිවරණ  රාජකාරි සඳහා  යන බවත්  බස් රථ  නොමැති බැවින් මා  රැගෙන  යන  ලෙස  ඉල්ලා සිටියෙමි .

"අපි නම් යන්නේ ඔය  ඉස්කෝලෙට නම් නෙවෙයි. එයිට එහා ඉස්කෝලෙකට කොයිකටත් නගින්නකො "  යයි එහි සිටි  චන්ද ස්ථානාධිපතිවරයා  කීය.

තවත්  විනාඩි  45 කින් පමණ  වාහනය  ඉත්තාපන  මහා විද්‍යාලය අසලට  පැමිණි අතර මා   වහනයෙන් බැස්සේ  ඔවුන්ට  ස්තුති  කරමිනි 


වට  පිට  බැලුවිට අවට  මිනිස්  පුළුටක් හෝ නොවීය. පාසල ඉදිරිපිට කඩයක් දෙකක් තිබු  නමුත් ඒවා වසා  තිබුණේය. පාසලේද  කිසිවෙකු නොවීය. ගේට්ටුවද වසා දමා තිබුණි .  පාසලේ බිත්තිවල  ජවිපෙ සටන් පාඨ පොල්ගෙඩි අකුරෙන් ලියා  තිබුණි . චන්දය දෙන අය  ද්‍රෝහීන් බැවින් ඔවුන් මරා දමන බව ට සඳහන්  කරමින් දෙතුන් පොලක  ලියා  තිබුණි . මා සිත  තුළ ඇති වුයේ මහත් බියකි . දේශප්‍රේමියෙකු  පැමිණ  තව  මොහොතකින් මා  මරා  දමනු ඇතැයි මට සිතුණි.


( ඉතිරි කොටස  මී  ළඟ ලිපියේ   පළ කෙරේ .)


බර්ටි රණවීරගේ විසිනි



  



Monday, August 28, 2017

රාජිතට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ඇයි?



   


රාජිත සේනාරත්න ඇමතිවරයා  පිළබඳව මේ හදිස්සියේ ලිපියක් ලියන්නට මා සිතා සිටියේ  නැත . එහෙත් අනුර කුමාර  මන්ත්‍රීවරයා විසින්  පාර්ලිමේන්තුවේදී ටොමි  කතාවක්  පැවැත්වීමත්, ඊට  පසුදිනම ඒකාබද්ධ  කෂ්ටියට රාජිත  ගැන කිසිම විශ්වාසයක් නැතැයි යෝජනාවක් පාර්ලිමේන්තුවට  භාර දීමත්  නිසා හිත  කියතකින් පීරන්නාක් මෙන් දැනෙන්නට  වුයෙන් මේ  ලිපිය   නොලියාම  බැරි තත්වයට  මා  පත් විය.



රාජිතව  දෑහැට පෙන්නන්නට බැරි කණ්ඩායම්  කීපයක් සිටි . එක කණ්ඩායමක් නම් ලංකාවේ  සුප්‍රසිද්ධ ව්‍යාපාරිකසහ දේශපාලන  කොම්පැණියක් වූ  මහින්ද සමාගම   බව ඔබ අනුමාන  කළානම් එය  හරියටම හරිය   . දෙවෙනි සමාගම වන්නේ  කලක් දේශප්‍රේමය විකුණු   ජනතා විමුක්ති පෙරමුණය . තුන්වෙනි කණ්ඩායම වන්නේ   රෝගීන්ට වඩා  නිදහස් අධ්‍යාපනයට  පුදුම ප්‍රේමයක් වරින් වර පෙන්නන   GMOA සමාගමය   .හතවෙනි  කට්ටිය නම් ලෙඩුන්ගේ ඉහ මොළ සුද්ධ  කරන  අවුෂධ මාෆියාවය 


 ඒකාබද්ධ විපක්ෂය  රාජිත සමග ඔරොප්පු වීමට  හේතු දෙකක් තිබේ  .   මහින්ද  පරාජය කිරීමට මුලිකත්වය  ගත් ප්‍රමුඛයන් අතර  ඔහුද එක් අයෙකු  නිසාය .රාජිත  මහින්දට වන්දි භට්ටකම් කරමින් දිගටම සිටියේ    නම්  මෛත්රිද  මහින්ද අතහැර එනු ඇතැයි සිතීම උගහටය .  මෛත්‍රී  ආවේ  නැත්තම්     මහින්ද  රාජපක්ෂ  මහතා තුන්වන වරටත්  ජනාධිපති වීමට  තිබුණු ඉඩකඩ වැඩිය . රාජිත  මහින්ද අත හැර ආවේ  මෛත්රිගේ  ජයග්‍රහණය පිළිබඳව  කිසිදු සහතිකයක් ඇතුව  නොවේ. එමෙන්ම  රාජපක්ෂට එරෙහිව ශ්‍රීලංකා නිදහස්  පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා  මාස  ගණනක්  තිස්සේ  රහසිගතව  ගෙන ගිය ක්‍රියාන්විතයේ  මුලිකයෙකු වුයේ රාජිත සේනාරත්නය  .   තුන්වර වරට පමණක්   නොව  හතරවන වරටත්  ජනධිපති වීමේ  සිහිනය  දකිමින් සිටි    මහින්ද  ඇඳෙන් ඇද දැමීමට රාජිත  කළ මෙහෙය ගැන  ලිපියක් දෙකක් නොව   පොතක්  ලිවිය  හැකිය . රාජපක්ෂගේ මිනිස්සු   රාජිත සමග  නයි වෛර  බැඳීම  හේතුවූ  පළමු කාරණාව එයය. 


     ඒකාබද්ධ විපක්ෂයේ වයිරය ගිනියම් කළ දෙවෙනි  කාරණාව  වන්නේ  හොරු දඬු කදේ  ගැසිය  යුතුයැයි යන  මතයේ රාජිත දැඩි ලෙස  පෙනී සිටීමත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධයේ  දිගින් දිගටම   හඬක්  නගමින්  සිටීමත්ය   . විශේෂයෙන්ම රාජපක්ෂ  පවුලේ අය  හොරු බව  ප්‍රසිද්ධියේ කීම නිසා   රාජපක්ෂ වරුන්ගේ ක්‍රෝධයට  ඔහු   පාත්‍ර වී සිටින  බව අමුතුවෙන්  කිව  යුතු නැත .  රාජිතට  එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ  ඔවුන්ගේ හිත් වල  පැසවන වයිරය තව දුරටත් හංගා ගෙන සිටීමට  බැරිම තැනය. 

 

ජනතා විමුක්ති  පෙරෙමුණ  රාජිත සමග වෛර  බැඳගෙන සිටින්නේ  1987 ඉන්දු  ලංකා  ගිවිසුමත් සමගය . එකල  රාජිත සිටියේ විජය කුමාරතුංගගේ  නායකත්වයෙන්  තිබු  මහජන  පක්ෂයේය .මහජන  පක්ෂය ඉන්දු ලංකා ගිවිසුම යටතේ  පිහිටවූ  පළාත් සභා ක්‍රමයට  සහයෝගය දැක්වූයේය. ලංකා සමසාජ පක්ෂයද,  කොමියුනිස්ට් පක්ෂයද ,වාසුදේව  සහ වික්‍රමබාහු  කරුණාරත්න  නායකත්වය දැරූ නව  සමසමාජ පක්ෂයද  පළාත් සභාවලට  පක්ෂ වුහ  .


 පළාත් සභාවලට විරුද්ධවූ  කණ්ඩායම් තුනකි. ඒ ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ සහ  LTTE සංවිධානයයි . ශ්‍රීලනිපය එයට විරුද්ධ වීම සැලකිය යුත්තේ සම්ප්‍රදායිකව විපක්ෂය  ආණ්ඩුවේ සෑම වැඩකටම විරුද්ධ වීම  යන  පදනම උඩය.  1977  සිට විපක්ෂයේ  සිටි ඔවුන්  හොඳටම  හෙම්බත් වී  සිටියහ .   ශ්‍රීලනිපයට  ඉදිරි මැතිවරණවලදී  චන්ද  ලබා  ගැනීමට   නම්  ආණ්ඩුවේ  ඕනෑම යෝජනවකට විරුද්ධ විය යුතුවම  තිබුණි  . 

ජනතා විමුක්ති පෙරමුණ  ඉන්දු ලංකා  ගිවිසුමට විරුද්ධ වුයේ  පළාත් සභා  හරහා  රට  කෑලි 8 කට  කැඩෙන  බව කියමිනි . එහෙත්  LTTE සංවිධානය එයට විරුද්ධ වුයේ එමගින් ඔවුන්ගේ  අපේක්ෂාව  වූ  ඊළම  පිහිටුවීම නිකම්ම  නිකම් හීනයක් වෙන   බව  හොඳින්ම දැන සිටි නිසාය. 

පළාත් සභා  මගින් රට  කැඩෙන්නේ  නම් කොටි සංවිධානය දුවගෙන අවුත් එය  බදා  ගන්නා  බව  තුනේ පන්තියේ  ළමයෙකු වුවද පිළිගනු ඇත  .


  පළාත්  සභා වලට  තරඟ  කරන්නන් පමණක් නොව  චන්දය දෙන  අයටද  මරණ දඬුවම දෙන  බව  ජවිපෙ හෙවත්  දේශප්‍රේමී  ජනතා ව්‍යාපාරය කියා සිටියේය. එම තර්ජනයට   යට නොවුණු  මහජන  පක්ෂයත්  කොමියුනිස්ට් පක්ෂයත්  සම සමාජ පක්ෂයත් , නව සමසමාජ  පක්ෂයත්  එක්සත් ජාතික  පක්ෂයට එරෙහිව පළාත් සභා සඳහා  තරඟ කළහ .මැතිවරණ ව්‍යාපාරය  පැවැත්වෙන අතර  තුර අපේක්ෂකයන් රැසක්  ජවිපෙ විසින් මරා දමන ලදී . මහජන  පක්ෂයේ  රැලියකට බෝම්බ ගසා වෙඩි  තැබීම නිසා   නායකයන් කීප දෙනෙකු මිය ගියහ . මහජන පක්ෂයේ  නායකයෙකුවූ  දේව බණ්ඩාර සේනාරත්නද ඒ අතර විය. මේ  වන විට ජවිපෙ විසින් මහජන  පක්ෂයේ  නායකයාවූ  විජය  කුමාරතුංග  මරා දමා  තිබිණ.

 ( විජය මරා දැමු ලයනල්  නැමැත්තා ජවිපෙ  කඳවුරු වලදී  හමුවූ බව  w3 ලංකා බ්ලොග් රචක අජිත්  පැරකුම්  ජයසිංහ විසින් මෑතකදී ලිවූ ලිපියක සඳහන්  කර තිබිණ )  1987- 89සමයේදී  ජවිපෙ විසින් මරා  දමන  ලද  මහජන  පක්ෂයේ  නායකයන් සහ සාමාජිකයන් සංඛ්‍යාව 117 ක් බව විකිපීඩියා හි සඳහන් වේ .


                                                 විජය කුමාරතුංග අවමඟුල 


ජවිපෙ  තුවක්කුවෙන් මිය ගියේ මහජන  පක්ෂයේ අය  පමණක් නොවේ. අනෙකුත් වමේ  පක්ෂ නායකයන් සහ ක්‍රියාකාරිකයන්ද,  එක්සත් ජාතික  පක්ෂයේ  නායකයන් සහ  සාමාජිකයන්  රැසක් ද මිය ගියහ.

 

එකළ රාජිත සේනාරත්න මහතා දේශපාලනය  කළේ  මහජන  පක්ෂයේ  නායකයෙකු ලෙසය. 1988  පැවති ජනාධිපතිවරණයට  මහජන පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂ පිහිටුවාගෙන  තිබු  එක්සත් සමාජවාදී සන්ධානයේ අපේක්ෂකයා  ලෙස ඔසී අබේගුණවර්ධන ඉදීරිපත් කරනු ලැබීය. එම සන්ධානයේ ග්‍රෑන්ඩ්පාස් හි පැවති රැලියකට ජවිපෙ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින්  තිදෙනෙකු මිය ගියහ . තුවාල  ලැබුවන් අතර  රාජිතද විය .


වමේ  පක්ෂවලට එල්ලවූ මේ භීෂණය හමුවේ  තුවක්කු ගැනීම  හැර වෙනත් විකල්පයක් නොමැති බව අවසානයේදී   ඔවුන් තීරණය  කළහ .  'ප්‍රා ' (People's Revolutionary Red Army ) හෙවත්   මහජන විප්ලවකාරී රතු හමුදාව පිහිටුවීම එහි ප්‍රතිපලය විය . ප්‍රා සංවිධානයේ  නායකයා වුයේ පොඩි සිල්වා නමැත්තෙකි . ඔහු 1971  කැරැල්ලට සහභාගිවූ ජවිපෙ අනුගාමිකයෙකු වූ  බව  ධර්මන් වික්‍රමරත්න  මහතා ලිවූ   'ජවිපෙ දෙවෙනි කැරැල්ල ' නමැති කෘතියේ සඳහන්  කර තිබේ . රාජිත සේනාරත්න  මහතා එම සංවිධානය පිටිපස  සිටි  අයෙකු බවට සැකයක් නැත . රුපවාහිනි වැඩ සටහනකදී මේ  පිළිබඳව රාජිතගෙන් විමසු විට ඔහු කිවේ  'තමන් ප්‍රා සංවිධානයට ආශිර්වාද  කළ බවත්  තුවක්කුව  රැගෙන තමන්  මරා දැමීමට ගෙදරට එන තුරු බලා  සිටීම මෝඩකමක් බවත්ය .  ජවිපෙ විසින් ඝාතනය  කරනු ලැබු වමේ  මිනිසුන්ගේ   අවමගුල්   උත්සවලදී  රාජිත ,   ජවිපෙ  හතර අතටම පතුරු ගැසුවේ  ඇතැම් විටෙක එම ස්ථානයේදී  හෝ ආපසු  යන ගමනේදී  ජවිපෙ  ඔහු මරා දැමීමට ඉඩ තිබෙන බව දැන ගෙනය.


ප්‍රා සංවිධානය ජවිපෙ තුවක්කු කරුවන් තමන් වෙත ඒමට  පෙර  ඔවුන් සොයා  ගියේය, සුප්‍රසිද්ධ මාධ්‍යවේදී  ධර්මන් වික්‍රමරත්න  මහතාට අනුව ප්‍රා සංවිධානය ජවිපෙ තුවක්කු කරුවන් 1222 ක් මරා දැමු අතර  ජවිපෙ විසින්   මරා  දැමු සංඛ්‍යාව  6577 කි .ජවිපෙ  විසින් 6000 කට අධික  පිරිසක්  මරා  දැමු බව  පසු කලකදී අනුර  කුමාර විසින්ම  ප්‍රසිද්ධියේ  පිළිගත්තේය .


ජවිපෙ නායකයා රාජිතට  හිඟන්නෙක් ,ටොමියෙක් ආදී ලෙස  පරිභව කරමින්  ගැලරිය  සතුටු කිරීමේ අපහාසාත්මක  කතාවක් කළේ  මේ පරණ කෝන්තර  සුළුවෙන් හෝ  පිරිමසා  ගැනීමට තිබෙන උවමනාව  නිසාය .  ඊට අමතරව  රාජිතට  බැන වැදීම තුළින් සයිටම් විරෝධී සරසවි සිසුන්ගේ ප්‍රසාදය දිනා  ගැනීමට ජවිපෙට හැකි වෙනු ඇති ජවිපෙ නායකත්වය  නිගමනය  කර  තිබෙනවාද විය  හැකිය . බොහෝ කලක් ජවිපෙ  පාලනය  යටතේ පැවතී අන්තරය දැන් ඔවුන් යටතේ නැත .එය දැන් තිබෙන්නේ  ජනතා විමුක්ති පෙරමුණේ  ආසන්න සතුරා වන  පෙරටුගාමින්  යටතේය .එය  ඔවුන්ගෙන්  උදුරා  ගැනීමට  නම් සරසවි සිසුන්ගේ සහය  ජවිපෙට අවශ්‍යය . සයිටම් ප්‍රශ්නයේදී රාජිත ප්‍රකාශ කරන්නේ  ආණ්ඩුවේ  මතය  වුවත් රාජිත සයිටමය ආරක්ෂා  කරතැයි යන මතය සිසුන් තුළට කවා   ඇති බැවින්  රාජිතට  අපහාස ,උපහාස කිරීමෙන්  සිසුන්ගේ ප්‍රසාදය  ජවිපෙට දිනාගැනීමට  හැකිවෙනු ඇතැයි ජවිපෙ ගණන් හදා තිබෙනවා විය හැක . 




රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ(  GMOA) ප්‍රධානීන්ට ද  රාජිත පෙන්නන්නට බැරි  කාරණා දෙකක් නිසාය. එකක් නම් ඔවුන්ගේ අයුක්ති සහගත ඉල්ලීම්වලට යටවීමට රාජිත  සුදානම් නැති නිසාය . අනෙත් කාරණාව වන්නේ ඇතැම් වෛද්‍ය වරු  කරගෙන  ගිය  ජාවාරම් වලට  රාජිත වැටකඩොලු බැඳීම  නිසාය .එක උදාහරණයක්  පමණක් දක්වතොත් අක්ෂි කාච ඉස්සර වික්කේ  එකක් රුපියල් 25000  බැගිනි . එය ගෙන ආ යුත්තේ  ශල්‍ය වෛද්‍යවරයා  කියන තැනින් ය. ඇතැම් විටෙක එම  කාච විකුණන තැන අයිති කරුද එම වෛද්‍යවරයාමය. රජයේ රෝහල්වලින් අක්ෂි කාච නොමිලේ දීමට  රාජිත සේනාරත්න  මහතා  පියවර  ගැනීම නිසා එම දොස්තරලාගේ ආදායම විශාල වශයෙන් අඩුවූ බවට සැකයක් නැත.


රාජිතට එරෙහිව සිටින  අනෙක් සතුරා  ඉතාම  බලවත්ය . ඒ අවුෂධ  මාපියාවයි. ලෝකයේ  දෙවනුවට   ලාභ  ලබන ජාවාරම අවුෂධ ජාවාරම  බව  කියනු ලැබේ. අවුෂධ සමාගම් , ඇමතිවරුන්ගේ සිට වෛද්‍යවරු දක්වාම සන්තෝසම් බෙදති . ඔවුන් නිපදවන බෙහෙත් වලින් ලෙඩ රෝග  සුව වෙනවා සේම ලෙඩුන්  ලක්ෂ  ගණනින් මරුමුවටද  පත් වෙති. මා  කියවූ  ලිපියකට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ     වැඩියෙන් ම  ලෙඩුන් මිය  යන්නේ හර්ද රෝගවලිනි . දෙවෙනුවට වැඩියෙන්ම  මිය යන්නේ    පිළිකා වැළඳීමෙනි.  තුන් වෙනුව  වැඩියෙන්ම  මිය යන්නේ  අවුෂධ වලිනි.. සෑම වසරකම ඇමරිකාවේ  මිනිසුන් ලක්ෂ දෙකක් බෙහෙත් නිසා  මිය යන  බව එම ලිපියේ සඳහන් කොට  තිබුනේ මෙසේය 


" Our prescription drugs are the third leading cause of death after heart disease and cancer. Our drugs kill around 200,000 people in America every year, and half of these people die while they do what their doctors told them—so they die because of the side-effects,” said Dr. Gotzsche in his recent interview. “The other half die because of errors—and it’s often the doctors that make the errors because any drug may come with 20, 30 or 40 warnings, contraindications, precautions…and then the patients die." 


 අවුෂධ   මාෆියාවට එරෙහිව කටයුතු කළ කිසිවෙකු වැඩි කලක් පන පිටින් සිටියේ නැත ජාතික අව්ෂධ ප්‍රතිපත්තිය සැකසු මහාචාර්ය සේනක බිබිලේ අවුෂධ  මාෆියාව  විසින් මර දැමු බව ප්‍රසිද්ධ  කරුණකි. රාජිතට  කෝටි ප්‍රකෝටි ගණනින්  යටිමඩි  ගැසීමට   උවමනා නම්  කළ යුත්තේ අවුෂධ සමාගම් වලට වාසි දායක වන  ලෙස කටයුතු  කිරීමය  .  එවිට කිසිදු අයෙකුට දැනගනීමට  බැරිවන ලෙස  දිනකට  රුපියල් කෝටියක් හමාරක්  ඔහු කියන ගිණුමකට  අවුෂධ සමාගම් දමනු ඇත.. එහෙත් ඔහු කළේ අවුෂධ මාෆියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමය. අවුෂධ  බොහෝ ගණනක  මිළ බොහෝ සෙයින් අඩු කිරීමට  රාජිත  කටයුතු කිරීම නිසා කෝටි ගණනින් ලාභ අඩුවූ  දේශීය  අවුෂධ ව්‍යාපාරිකයෝත්   ජාත්‍යන්තර අවුෂධ  ජාවාරම් කරුවනුත්  ඔහු  දේශපාලනයෙන් ඉවත් කිරීමටත් එසේ  නොහැකි වුවහොත් මරා  දැමීමටත්   කුමන්ත්‍රණය  කරමින් සිටින බවට සැකයක් නැත . එබැවින් රාජිතට  එරෙහි සියලු දේශපාලන ව්‍යාපාරවලට  ඔවුන් මේ වන විට මුදල් පොම්ප  කරමින් සිටිනු  බවටද  කිසිදු සැකයක් නැත .


 ජනාධිපති අරමුදලෙන් රුපියල්  කෝටි 100 ක් වැය කොට  සිංගප්පුරුවේ රෝහලකින් බෙහෙත් ගැනීම ගැන අවලාද නැගු අනුර කුමාර මහතා  ලංකාවේ රෝහලකින්  බෙහෙත් ගැනීමට  රාජිතට නොහැකි මන්දැයි ඇසුවේය. බැලු බැල්මට එය ඇත්තය.  ඔහු සිංගප්පුරුවේ දොස්තර  මහත්තුරු  හමුවීමට  ගියේ බෙහෙතුත්  ගෙන   සිංගප්පුරුවේ සංචාරයකුත්  කොට හොටල් දෙක තුනකින් හොඳ  හැටි  කා බි ආපසු ඒමටද?


මේ  ආණ්ඩුව  බලයට ගෙන ඒමට  මහත් වෙහෙසක් දැරූ මාදුළුවාවේ  සෝභිත  හිමියන් අපවත් වුයේ  නිසි  කලට නිසි ප්‍රතිකාර  නොගෙන ප්‍රමාදවී ප්‍රතිකාර ගැනීමට  යාම නිසාය . උන්වහන්සේ  අපවත් වීම ආණ්ඩුවට  බරපතල  පාඩුවක් විය . උන්වහන්සේගේ  ජීවිතය බේරා  ගැනීමට  නොහැකි වීම ආණ්ඩුවටද යම් තරමකට  නරක  නාමයක් ඇතිවීමට බලපෑවේය .රාජිතට  හර්දයාබාධයක් ඇති වූ විට  සෝභිත  හිමියන්ගේ  ඉරණම ඔහුට අත් වෙනු දැකීමට  ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ  ලොක්කන්ට  උවමනා  නොවීය .GMOA ලොකු මහත්තුරු  රාජිත සමග  වයිර  බැඳගෙන සිටියදී මෙහි රෝහලකින් ප්‍රතිකාර  ලැබීම ජීවිතය  පරදුවට  තැබීමක් ලෙස ආණ්ඩුව  කරවන්නන්  සිතු  බවට සැකයක් නැත . අනික රාජිත දොස්තර  කෙනෙකි. දොස්තරලාගේ තරම හොඳින්ම දන්නේ  දොස්තරලාය . එබැවින්  පිටරට  දොස්තරලාගෙන්  ප්‍රතිකාර  ලබා  ගැනීම වඩාත් සුදුසු යැයි රාජිතද සිතන්නට ඇත . මා දන්නා  පරිදි  රාජිතට  සිංගප්පුරුවේ එලිසබත්  රෝහලට  අප්‍රමාදව ගොස්  ප්‍රතිකාර  ලබා  ගන්නා  ලෙස  උපදෙස් දුන්නේ  ජනාධිපතිවරයාය. 

මගේ මිත්‍රයෙක් අවුරුදු  6  කට  පමණ  පෙර  හර්දයාබාධයක් වැළඳීම  නිසා  රෝහලට ඇතුළු  විය .හර්දය වස්තුවට  ලේ  ගමන් කිරීමට  බාධාවක් ඇතිවී තිබෙන බැවින් ස්ටෙන්ට් යනුවෙන් හඳුන්වන කුඩා ලේ පෙරනයක්  සවි කිරීමට සිදුවී තිබෙන බව  වෛද්‍යවරු කීහ. පවුලක් පන්සලක් වී  නොතිබුණු බැවින් ඔහු අතේ  මුදල් තිබිණ . ශල්‍යකර්මය කරගෙන ගෙදර එනවිට රුපියල් ලක්ෂ හය හතක  මුදලක් ඔහුට වියදම් වී තිබුණු  බව  ඔහු  මා සමග  කීවේය. .  



                                                     ස්ටෙන්ට් උපකරණය 



                අධික රුධිර  පීඩනය සහ දියවැඩියාව සඳහා වන  අවුෂධ මිළ අඩු කර ඇති ආකාරය 


රුපියල් ලක්ෂ   තුනහමාරක් දී  මිලදී  ගත  යුතුවූ  ස්ටෙන්ට් පෙරහන  නොමිලේ දීමට , පිළිකා රෝගීයෙකු වෙනුවෙන් වැය  කළ රු.ලක්ෂ  පහළොවේ සීමාව ඉවත් කිරීමට , අත්‍යවශ්‍ය අවුෂධ වර්ග 48 ක  මිල අඩු කිරීමට ,වෙළඳ නමින් නොව අවුෂධ නමින් බෙහෙත් ලියන  ලෙස නියම  කිරීමට ,රුපියල් පනස් දහසේ   අක්ෂි කාච දෙක නොමිලේ ලබා දීමට,  සවුඛ්‍ය   සේවාවන් වෙනුවෙන් වැඩි මුදලක් යෙදවීමට, පවුද්ගලික රෝහල් සපයන සේවාවන් සඳහා අය කළ ඉහල  ගාස්තු  යම් මට්ටමකින් පාලනය කිරීමට  යනාදී හොඳ වැඩ රැසකට   පියවර  ගැනීම ට ඔහුට  හැකි වුයේ සිංගප්පුරුවට ගොස්  සුව වී  පැමිණි නිසාය .


ඉකුත්  මහා මැතිවරණයේදී  රාජිත සේනාරත්න  මහතා පාර්ලිමේන්තුවට  පත් වුයේ දිස්ත්‍රික්කයේ  වැඩිම මනාප  ලබා ගෙනය.  ඒ  ඔහු  පක්ෂ  කණ්ඩායමේ නායක  කමවත් නොලැබය. මිනිස්සු ඔහුට  චන්දය දුන්නේ ඔහුගේ මුහුණේ ලස්සනට  නොවේ. රාජපක්ෂලා ගෙදර  යැවීමට ඔහු කළ සේවයට කෘතගුණ සැලකීමටය . සවුඛ්‍ය සේවාවට  ඔහු විසින් ඉකුත් අවුරුදු  දෙකක  කාලය තුළ කරන  ලද සේවය  නිසා    ඔහුගේ  ජනප්‍රියත්වය  තව දුරටත් වැඩිවී තිබෙනවා  මිස අඩු වී  නැත .එබැවින් ඔහු බිම දැමීමට දඟලන අයට අන්තිමට සිදුවන්නේ  හොම්බ  බිම ඇනගන්නටය .

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අඩු කරන ලද අවුෂධ වර්ග 48 මිල ගණන්  පහත  ලින්කුවෙන් බලා  ගත  හැක 

http://www.english.gossiplankanews.com/2016/10/here-is-list-of-48-drug-items-under.html


Thursday, August 17, 2017

ජනතා විමුක්ති පෙරමුණ තුන්වන විප්ලවයට සැරසේ ?





   අන්තිමේදී  ජනතා විමුක්ති  පෙරමුණට මොලය  පෑදුනු වගක්  පෙනෙන්නට තිබේ.  මා එසේ කියන්නේ සීනුව පැත්තකට දමා වෙනත් පෙරමුණක්  හදාගෙන  ඊළඟ මැතිවරණයට  තරඟ කරන  බව  ජවිපෙ පළාත් සභා මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න මහතා  කියා  තිබෙන  නිසාය . ඔහු ජවිපෙ  නායකයෙකු නිසා  ජවිපෙ එවැනි තීන්දුවකට  පැමිණ ඇතැයි අපි සිතමු.

අවුරුදු 50  කට වඩා වයසැති  ජවිපෙ මුහුකුරා  ගොස් ඇතැයි සිතන්නට එය පුංචි සාක්කියකි . කොල්ලන්ගේ  හිත්වශී  කරන සටන් පාඨ වලින් චන්ද රැස්  කළ නොහැකි බව  ජවිපෙ නායකයන්  ටිකෙන් ටික අවබෝධ  කර  ගනිමින් සිටිනවා විය හැක 


ජවිපෙ  එම  තීන්දුවට  පැමිණ  තිබෙන්නේ  බොහෝ  දුරට  හිතා  මතා  කතා  බහ  කර  බවට සැකයක් නැත    අප ඒ පිළිබඳව  ඕනා  තරම් විවිධ  තැන වල  කියා ,ලියා  තිබේ. ඒ අවස්ථාවල  ජවිපෙ ගැටවු අප  මරාගෙන  කෑමට  තරම් වයිර  බැන්දාහ . එහෙත්  නායකයන්   කියන දේ  අනුව  කටයුතු  කරන  ජවිපෙ අනුගාමිකයන්  පක්ෂයේ අලුත්  මත  සමග අනුගත වන බවට සැකයක් නොමැත.



ජවිපෙ කොතරම් දුෂණ වලට විරුද්ධ වුවද මැතිවරණ වලදී  මිනිස්සු  ජවිපෙට චන්දෙ දෙන්නේ  නැත. බොහෝ කලක සිට ජවිපෙට  ලැබුනේ  සාමාන්‍යයෙන් 5% වැනි චන්ද ප්‍රමාණයක්   පමණය. විජේවීරට ඒ සංඛ්‍යාව වත් ගැනීමට  පුළුවන් වුනේ  නැත . 1982 ජනාධිපතිවරනයේදී ඔහුට  ලැබුණේ වලංගු චන්ද 65 ලක්ෂයෙන් ලක්ෂ 2 හමාරක් හෙවත් 4.19% කි .ඉකුත්  මහා  මැතිවරණයේදී  ජවිපෙට ලැබුණු චන්ද  ප්‍රතිශතය 4.87 කි . වෙනත් වචන වලින් කියතොත් චන්ද 11,166, 975 කින්  543,944 ක් පමණක්  ඔවුන්ට  ලැබිණ .



කටේ  කෙල හිඳී ගොස් උගුර බැරැන්ඩි වෙන තුරු වේදිකා වල කෑගැසුවත් , කඩදාසි රෝල් කිලෝමීටර් දස  දහස්  ගණනක  පෝස්ටර් ගැසුවත් , තමන්ගේ  ගෝල  බාලයන් සමාජ මාධ්‍ය  ජාලවල  දිනපතා ජවිපෙ  ගුණ ගී  ගායනා  කළත් මිනිස්සු අපිට චන්දය නොදෙන්නේ මන්දැයි    නිදිමරාගෙන  කල්පනා  කරන්නට ජවිපෙ  නායකත්වයට අන්තිමේදී සිදුවී තිබේ.

 


ජවිපෙත්  පංගු කාරයෙකු වන බලගතු තුන්වන  පෙරමුණක්  හදා  ගන්නට  ජවිපෙ  පුරුෂ වීර්යය  යොදන්නේ  නම් ජවිපෙ විවේචනය  කරන  බොහෝ අය  පවා කැමති වෙනු ඇත .එහෙත්  එහෙන් මෙහෙන් එකතුකරගන්නා උගතුන්  ලෙස  ප්‍රසිද්ධ  ජවිපෙ  හිතවාදීන්  පමණක් එකතු  කරගෙන  හදන පෙරමුණකින් නම් ශත  පහකින් වත් වැඩක් වෙන්නේ නැත .  චන්ද  ලැබෙන  පෙරමුණක් හදා  ගන්නට  ඕනෑ නම් ජවිපෙ  කලයුතු වෙනස්  කම්  කප්පරක් තිබේ.



පළමුවෙන්ම 1987- 90 සමයේ  තමන් කළ මිනීමැරුම්,   ත්‍රස්තවාදී  හිරිකිත  ක්‍රියා  බව ප්‍රසිද්ධියේ පිළිගෙන මහජනයාගෙන් සමා ව  ගත  යුතුය .මෙය  ඔවුන්ට ගිලීමට  අමාරු තිත්ත  බේතක් බව  හැබෑය .එසේ  නොකරන්නේ  නම්  මහජනයාගේ  විශ්වාසය දිනා  ගැනීමට  පුළුවන් වන්නේ  නැත .තමන්ගේ අතීත වැරදි අවංකව පිළිගෙන සමාව  නොයිල්ලන අය අනාගතයේ දිනක  යලිත් එම දුෂ්ට  ක්‍රියාවන්වලට එළඹීමට  ඉඩ තිබෙන ඉඩකඩ වැඩි බව  බුද්ධිමත් මහජනයා  දනිති.



එමෙන්ම අනුන්ගේ විවේචන  ඉවසන සංස්කෘතියකට  ජවිපෙ  යායුතුව  තිබේ. ඔවුන්ගේ මතය ට විරුද්ධ  පිරිස්  ද්‍රෝහීන් බැවින්  ඔවුන් මිහිතලයෙන් අතුගා දැමිය යුතු පණුවන් ,කැරපොත්තන්  ලෙස සලකන ගෝත්‍රික සංස්කෘතිය ජවිපෙ උපතින්ම උරුම කරගෙන  තිබේ.එය  නිර්මාණය  කොට  ජවිපෙට දායාද  කලේ විජේවීරමය .කොටින්ම  කියතොත්  විජේවීර  ජවිපෙට  දායාද  කළ බොහෝ දේවල් අකමැත්තෙන් හෝ සදහටම අත් හැරීමට  ජවිපෙ හිත හදා  ගත  යුතුව තිබේ. එසේ  නොකොට හදන  පෙරමුණු හුදෙක් ඇස් බැඳුමක්  ලෙස සලකා  මිනිසුන් විසින් කුණු කාණුවට තල්ලු කර දමනු ඇත.



බොහෝ කලක සිට  ජවිපෙ හමගසා ඇති සටන් පාඨ වලට  පාදක වූ දැක්මද  අත හැරීමට  ජවිපෙ සුදානම් විය යුතුය . සයිටම් විරෝධයට  ජවිපෙ එකතුවන්නේ  එමගින් නිදහස් අධ්‍යාපනයට වල  කැපෙන බව  කියමිනි .නිදහස් අධ්‍යාපනය ආරක්ෂා  කිරීමට කටයුතු කිරීම  ගැන  අපේ  කිසිම අවුලක් නැත .එහෙත් ණයවී සල්ලි හොයාගෙන හෝ   ඉගෙනීමට සුදානම් එවුන්ගේ අයිතිය  නොපිළිගෙන  ජවිපෙට චන්ද  මැෂිමක්  හද  ගැනීමට  නුපුළුවන .



සමාජවාදයට  පළමු තැන නොව දෙවෙනි තැන දීමට ජවිපෙ සුදානම් විය  යුතුය .මගේ  පුද්ගලික අදහස  නම් සමාජවාදය මේ සියවසේ  නම් එන්නේ  නැත .ලංකාව වැනි රටක  නම් සියවසක් දෙකක්වත් යන තුරු සමාජවාදයට සුදුසු පරිසරයක් ගොඩ නැගෙන්නේ නැත. කාල් මාක්ස් කිව්වේ ධනවාදය සන්වර්ධනය වී  අවසන් වූ  පසු සමාජවාදය එන බවය .එහෙත් ධනවාදය   අර්බුද මැදින්  තවමත් සංවර්ධනය වෙමින්  ඉදිරියට  යමින්  පවතින  බව මැදහත්ව දකින  අයට  පෙනේ. අප මේ බ්ලොග් අඩවි පවත්වාගෙන  යන්නේද ධනවාදී ඉදිරි ගමනේ  නිෂ්පාදනයක් වන අන්තර්ජාල මෙවලම යොදාගෙනය .


 සමාජවාදය ඇරඹිය  යුත්තේ  ඇමරිකාවේ  යුරෝපයේ මිස  තමමත් ගෝත්‍රවාදය  රජකරන අපේ රටවල් වල  නොවේ .සමාජවාදය  කඩා වැටුනේ ධනවාදී සංවර්ධනයේ   ඇයන්න , ඈයන්න  කියවමින්    සිටි රුසියාවේ බලෙන් ඔබන්නට  ගිය  නිසාය .  ධනවාදයේ  හුළඟක් වත් නොවැදුණු  මොන්ගෝලියාවේ  , ඔරුවෙන් පාරුවෙන් ගංගා තරණය  කල චීනයේ , කැත්තෙන්  උදැල්ලෙන් වැඩ  කළ මිනිසුන් සිටි  කාම්බෝජයේ  බලහත් කාරයෙන් සමාජවාදය  ඔබන්නට  ගොස් අන්තිමට සමාජවාදය  ඒ රටවල මිනිස්සුන්ට අප්පිරිය විය  . නැගෙනහිර  යුරෝපයේ අනෙකුත් රටවල  බලෙන් සමාජවාදය එබුවේ ස්ටාලින්ගේ රුසියාවේ ආරක්ෂවටය . අන්තිමට  ඔක්කොම  කඩා වැටුණේ අදහා  ගන්නටත් බැරි තරම් වේගයෙනි  එබැවින් .  සමාජවාදය පස්සට  දමා මානව හිතවාදී ධනවාදී  සමාජයක් සහ  දුෂණය  හොරකම අවම  කරන  එමෙන්ම  පුර්ණ  ප්‍රජාතන්ත්‍ර  අයිති වාසිකම් මිනිසුන්ට භුක්ති විඳීමට  මග  පාදන   වැඩ පිළිවෙලකට    යාමට ජවිපෙ පරිණාමය   විය  යුතුව  තිබේ.




 එපමණක් සෑහෙන්නේ  නැත .උතුරේ  සහ නැගෙන හිර මිනිස්සු තම ප්‍රදේශවලට පළාත් සභා  බලය  ඉක්මවා  යන  බලතල  ඉල්ලා සිටින්නේ මන්දැයි අලුතෙන් සිතා  බලා තම සිංහල වාදී ප්‍රතිපත්ති අතහැර  දැමීමට ජවිපෙට  කාලය  පැමිණ තිබේ. එසේ  නොකොට දෙමල සහ මුස්ලිම් ජනයාගේ සහය ඔය හදන්නට  යන පෙරමුණට  ලබා  ගැනීමට නුපුළුවන . කෙසේ  වෙතත්  නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර  ගැනීම සඳහා  වන ව්‍යයාමයේදී  ' රට  බෙදන ව්‍යවස්ථාවක් එපා'  යයි  ජවිපෙ  තවමත් නොකීම සහ ව්‍යවස්ථාවක්  හදා  ගැනීමට  සහය දෙමින් සිටීම හොඳ  පැත්තට වෙනස් වන්නට ජවිපෙ තුල තිබෙන සුදානම දැකිය  හැක .



ජවිපෙ  පළමුව තම සංවිධානය  තුළ එවැනි දැවැන්ත විප්ලවයක්  කොට  දෙවනුව දෙමල  සහ මුස්ලිම් සංවිධානද , පරණ සහ අලුත් වමේ   සංවිධානද , සිවිල් ජනයාගේ සංවිධානද,  වෙනත් ප්‍රගතිශීලී බලවේගයන්ද , අවංක  සහ බලවත් දේශපාලන චරිතද  එකතු කරගෙන,   දුෂිතයන්ට විරුද්ධව  යුද්ධ  ප්‍රකාශ  කරන වැඩ පිළිවෙලක් වටා  පෙරමුණක්  හදා  ජවිපෙ එහි නායකයා නොව  කොටස්  කාරයෙක් පමණක් වීමට සුදානම් නම් 2020 මහා මැතිවරණයෙන් පසු  පිහිටවන ආණ්ඩුවට නාස්  ලනුව දැමීමට හෙවත් දුරස්ථ  පාලකය අතට  ගැනීමට    හැකි වීමට  ඉඩ  කඩ  තිබේ.



අවසාන වශයෙන් මෙය  කීමට  මා  කැමතිය  .දැනට  හදාගෙන  යන ව්‍යවස්ථාව  යටතේ මැතිවරණ  ක්‍රමයේ ලොකු වෙනසක් වීමට  නියමිතය. ආසන  මට්ටමේ සහ අනුපාත ක්‍රමයේ  මිශ්‍රණයක් සහිත  මැතිවරණ  ක්‍රමයක් ඒමට නියමිත  බැවින් ජවිපෙ ඇතුළු  අඩු චන්ද  ප්‍රමාණයක්  ගන්නා  පක්ෂ වලට නව ව්‍යවස්ථාව  යටතේ සන්ධාන  හදාගෙන  මිස  දියවන්නාව  තරණය  කරන්නට  ලැබෙන්නේ  නැත . එවැනි මැතිවරණ   ක්‍රමයක් යටතේ   ජවිපෙ   තනිවම   තරඟ කළහොත් එක මන්ත්‍රී ධුරයක්වත් හිමි වෙදැයි සැක සහිතය . එබැවින් පෙරමුණකින් තරඟ කිරීම  හැර  වෙනත්  විකල්පයක් ජවිපෙට නැත . හදන්නට යන  පෙරමුණ තමන්ගේ වාසියට හදන  පෙරමුණක්  වුවහොත්  ඇතිවන ප්‍රතිඵල  ජවිපෙ බලාපොරොත්තු කඩ  කරනු ඇත. එබැවින් ඉස්සෙල්ලාම තමාගේ  ගෙදර  විප්ලවයක් කොට ඉන්පසුව ඔය  කියන  පුළුල්  පෙරමුණු තනන්නට  ජවිපෙ  නායකයන්ට  බුද්ධිය  පහල වුවහොත්  2030 , 2035  විතර වෙන විට  ජවිපෙ ඇතුලත් තුන්වන   බලවේගයකට ආණ්ඩු බලය  ලබා  ගැනීමට ඉඩ  ප්‍රස්තා හිමි වීමට ඉඩ තිබේ.






.  



මා දුටු 87-89 භීෂණය -4 කොටස - හමුදාව මහා රෑ නිවසට කඩා වදී

        මෙයට පෙර   ලිව තුන් වන  කොටසේ  මා විස්තර  කළේ දිනක් පාන්දර  නාවුක  හමුදා  භටයන් මගේ  නිවසට  පැමිණ  නිවස   සෝදිසි කොට  නැවතත්  මා...